10 හැවිරිදි දැරියට අතවර කර මරා පොල්වත්තක හංගලා

889

අත්අඩංගුවට ගත් සැකකරු අපිට භාරදියව්

ගම්මු තලේමන්නාරම පොලිසිය ළඟ විරෝධතා

තලේමන්නාරම ප්‍රදේශයේ දස හැවිරිදි දැරියක පැහැරගෙන ගොස් දූෂණය කර මරා දමා සිරුර පොල්වත්තක සැඟවූ ප්‍රධාන සැකකරු පොලිසිය මගින් ඊයේ (16 දා) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. මෙම දැරිය යාබද නිවසක රූපවාහිනිය බැලීමට යමින් සිටියදී සාහසිකයා ඇය පැහැරගෙන ගොස් දූෂණය කර මරාදමා ඇත්තේ පෙරේදා (15දා) රාත්‍රී කාලයේදීය.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු තමන්ට භාරදෙන ලෙස ඉල්ලමින් කෝපයට පත්වූ ගම්වසීහු තලේමන්නාරම පොලිසිය ඉදිරිපිට විරෝධතාවයකද නිරත වූහ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයේ පොල්වත්තක මුරකරුවකු ලෙස සේවය කරන 55 හැවිරිදි විවාහකයෙකි.

ඝාතනයට ලක්වූ දැරිය පෙරේදා රාත්‍රියේ නිවස අසල වෙනත් නිවසක රූපවාහිනිය නැරඹීමට ගොස් ඇත.

දැරිය ආපසු නිවසට නොපැමිණි නිසා බියට පත්වූ ඇගේ මිත්තණිය ඇය පිළිබඳව සොයා බලා ඇතත් කිසිදු හෝඩුවාවක් ලැබී නැත.

පසුව මේ පිළිබඳව මිත්තණිය තලේමන්නාරම පොලිසියට පැමිණිලි කර ඇත. වහාම ක්‍රියාත්මක වූ තලේමන්නාරම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයශාන්ත ඇතුළු නිලධාරීන් ප්‍රදේශය පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද දැරිය සොයාගැනීමට හැකිවී නැත.

ඊයේ උදෑසන කාලයේදී පොලිසිය නැවත සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරද්දී දැරියගේ නිරුවත් සිරුර පොල්වත්තක තිබී හමුවී ඇත.

දැරිය ඝාතනයට ලක්වී පැය 24 ක් ගතවීමට පෙර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

තලේමන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment