ප්‍රමිතියෙන් තොර බව කියන චීන පොහොර මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්වරයකු ඇතුළු තවත් ප්‍රබල පිරිසකට චෝදනා එල්ල වන බවත්, ඔවුන්ට ද එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත්, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඊයේ (20දා) පැවසීය. මෙම චෝදනාවට අධිකරණය මගින් ඇප ලැබූ සැකකරුවකු මේ වනවිට අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙස නැවත සේවය කරන බව ද ඔහු කීය.
ඇමරිකන් ඩොලර් මිලියන 6.9ක් වූ පොහොර ගනුදෙනුව මගින් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට 2021 වර්ෂයේදී තමන් විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කර, ඒ සම්බන්ධයෙන් 2022 මාර්තු මාසයේදී අල්ලස් කොමිසමට ප්‍රකාශ ලබාදුන්නත් එවක පැවැති දේශපාලන බලපෑම් නිසා එහි විමර්ශන නිසියාකාරයෙන් සිදුනොවූ බව ද ඊයේ (20දා) එම කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී තෙන්නකෝන් මහතා පැවසීය.
වත්මන් පාලන කාලය තුළ අල්ලස් කොමිසම ක්‍රියාත්මකව පැමිණිලිවලට අදාළව කටයුතු කරන ස්වරූපයක් දක්නට ලැබෙන බවත් එයට එම කොමිසමට ස්තුතිය පළකරන බවත් ඔහු කීය.
මෙම පොහොර නැවට මුදල් නොගෙවන ලෙස ගල්කිස්ස වාණිජ මහාධිකරණය මගින් වාරණයක් පනවා තිබියදී එම තීන්දුව වෙනස් කර පොහොර නැවට මුදල් ගෙවීමට එවක රජයේ ප්‍රබලයන් කිහිපදෙනකු කටයුතු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමන් සතුව පවතින තොරතුරු අධිකරණයට හෝ ඕනෑම ස්ථානයකට පැමිණ ප්‍රකාශ කිරීමට කැමැති බවත් තෙන්නකෝන් මහතා කීය.
මෙම පොහොර නැවට මුදල් ලබාදෙන්නේ අලුත් පොහොර ලැබීමෙන් බවට පැවසූ නිලධාරීන් සිටින බවත්, ඔවුන් කළ ප්‍රකාශ මාධ්‍යවල පළවී අති බවත්, එම මාධ්‍ය වාර්තා තමන් සතු බවත් ඒ මහතා කීය.
මෙම පොහොර ගනුදෙනුව නිසා ඇමරිකන් ඩොලර් මිලියන 6.9ක් වූ මූල්‍යමය පාඩුවට එහා ගිය පාඩුවක් මෙරට කෘෂිකර්මාන්තයට වසර කිහිපයක් ගතවන තෙක් සිදුවූ බවත්, එහි පාඩුව ගණනය කළ නොහැකි බවත් හෙතෙම පැවසීය. එම නිසා මෙම ගනුදෙනුවට සම්බන්ධ සියලුම පාර්ශ්වයන්වලට එරෙහිව කටයුතු කළ යුතු බවත්, එයට මහින්දානන්ද අලුත්ගමගේ හිටපු කෘෂි ඇමැතිවරයාගෙන් ඔබ්බට විමර්ශන සිදුවිය යුතු බව තම එකමුතුවේ ඉල්ලීම බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා