බිරිඳත් මියගිහින් දරුවන් රට ගිය සොවින්… පස්දරු පියාට දිවි එපාවෙලා

88

තමන් තනිකොට සිය දරුවන් පස්දෙනාම විදේශ ගතවීම නිසා දැඩි කළකිරීමකට පත්ව සිටි යාපනයේ එලුකෝවිල් ප්‍රදේශයේ වයස අවුරුදු 76 ක පුද්ගලයකු සිය ගෙවත්තේ පිහිටි ළිඳට පැන පෙරේදා (16 දා) සිය දිවි හානි කරගෙන තිබේ.

අයියාතුරෙයි ත්‍යාගරාජා නමැති මෙම පුද්ගලයාගේ බිරිඳ මීට වසර අටකට පමණ ඉහතදී මියයෑම නිසා ඔහු එක් එක් දරුවා ළඟ ජීවත්ව ඇත. දරුවන් පස්දෙනාම වරින් වර විදේශ ගතවීම නිසා දැඩි කම්පනයකින් යුතුව ඔහු සිය නිවසේ තනිවම ජීවත්ව සිටියදී අසල්වාසීන් සමග ඔහුගේ තනිකම හා පාලුව ගැන අවස්ථා කීපයකදීම අදහස් ප්‍රකාශ කොට ඇත.

සිද්ධිය වූ දිනයේදී ළිඳ දෙසින් විශාල ශබ්දයක් ඇසී අවට පිරිස් ඒ ගැන විපරම්කොට බැලීමේදී වයෝවෘද්ධ පුද්ගලයා ළිඳ තුළ සිටිනු දැක තිබේ. වහාම ඔහුව ළිඳෙන් ගොඩ ගෙන යාපනය ශික්ෂණ රෝහල වෙත ගෙන ගියත් ඔහු ඒ වනවිට මියගොස් සිටි බව රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.

මේ පුද්ගලයා ළිඳේ බැම්ම උඩට නැග ළිඳට පනින ආකාරය අසල නිවසක සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබෙන අයුරු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන යාපනය පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව මෘත ශරීරයේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා ඥාතීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment