කඩුවෙල පොලිස් වසමේ ‘ස්පා’ සියල්ල වැසේ

2041

කඩුවෙල පොලිස් වසමේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන ලේබලයට මුවාවී පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ස්ථාන ඇතුළු නීති විරෝධී ‘ස්පා’ ආයතන සියල්ල වසා දැමීමට කඩුවෙල පොලිසිය පියවර ගෙන ඇත.

බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය මධ්‍යස්ථාන 13 ක් දැන්වීම් පුවරු ද ගලවා ඉවත් කිරීමට පොලිසිය සහ කඩුවෙල මහ නගර සභාවේ නිලධාරීන් කටයුතු කර ඇති අතර අවස්ථා කිහිපයකදී මෙම ව්‍යාපාරවල නිරතවූවන්ට මේ පිළිබඳ දැනුවත් කර තිබූ බව ද කඩුවෙල පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව කඩුවෙල පොලිසිය සහ කඩුවෙල මහ නගර සභාවේ නිලධාරීන් එක්ව කඩුවෙල ප්‍රදේශයේ ස්ථාන රැසක ආරම්භ කර තිබූ එවැනි මධ්‍යස්ථාන සියල්ලේම නාම පුවරු සහ ඊට අදාළ සියලුම ප්‍රදර්ශන ද ඉවත් කිරීමට පෙරේදා (9 දා) කටයුතු කළේය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත අනෙකුත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත මෙය ක්‍රියාවට නැංවූ බව කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කාන් වීරසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (10 දා) ප්‍රකාශ කළේය.

නීති විරෝධී ක්‍රියාවන් සිදුවන මෙවැනි ආයතන සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයන් පිළිබඳ ප්‍රදේශයේ සියලු ආගමික නායකයන් සහ ජනතාව ද සිය දෙපාර්තමේන්තුවට ප්‍රශංසාව පළකර සිටි බව ද ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සුජීව තත්සර සහ කඩුවෙල සුගත් ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment