ගමනාගමන කොමිසමෙන් ධාවන බලපත්‍රයක් අරගෙනත් නෑ

247

මියගිය අයට – තුවාලකරුවන්ට වන්දි ගෙවීම අනිවාර්යයි
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති

පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේදී කොටලීය පාලමෙන් ඔයට පෙරළී අනතුරට ලක්වූ බස් රථය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අවසරය සහිත ධාවන බලපත්‍රයක් නොමැතිව ධාවනය කර ඇතැයි හෙළි වී තිබේ.

එම බස් රථයට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අනුමත බලපත්‍රයක් තිබීම අත්‍යවශ්‍ය වුවත් පළාත් දෙකක් අතර ධාවනය සඳහා එම බස් රථය එක් පළාත් සභාවකින් පමණක් අවසරය ලබා තිබූ අතර එය ප්‍රමාණවත් නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා ‘දිවයින’ට ඊයේ (10දා) පැවසීය. එබැවින් මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් නීතිමය පියවර ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් තමා පොලිසියෙන් තොරතුරු ලබා ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් සියලු තොරතුරු මෙන්ම බසයේ රියැදුරු සහ ඔහුගේ රියැදුරු බලපත්‍රය, බස් රථයේ රක්ෂණාවරණය ආදී තොරතුරු සහිත පොලිස් වාර්තාවක් ඉල්ලා ඇතැයි ද ඒ මහතා කීය.

මෙම සිද්ධියෙන් මරණයට පත් අය වෙනුවෙන් සහ තුවාල ලැබූවන් සඳහා වන්දියක් ලබා දීම අනිවාර්යයෙන් කළ යුතු බවත් ඒ පිළිබඳව ද මේ වන විට කරුණු විමර්ශනය කරන අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ අයිතිකරුටද වගකීමක් පැවරෙන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment