නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ආරම්භ කර අතරමග නැවතී ඇති ව්‍යාපෘති  සියල්ල කර රටට ආදායමක් ගේන්න

491

(කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ආරම්භ කර, මුදල් වියදම් කොට දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති සියල්ල වහාම සාර්ථක කර රටට ආදායමක් ලැබෙන තත්ත්වයට පත් කරන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා එම අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ මහතා මෙම උපදෙස් ලබාදුන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ 2017 හා 2018 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට එම අධිකාරියේ නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට පෙරේදා (07 දා) කැඳවා තිබූ අවස්ථාවේදීය.

මෙහිදී අනාවරණය වූයේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති සහ අධීක්ෂණය වන ව්‍යාපෘති ගණනාවක් සාර්ථකව ලාභ ලබන තත්ත්වයක නොපවතින බවයි. මේ අනුව හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය, මීතොටමුල්ල පුනර්ජීවන ව්‍යාපෘතිය, කර්මාන්තපුරයක් ඉදිකරීමට මිල්ලෑව වතුයායෙන් අක්කර 812 ක් පවරා ගැනීමට අදාළ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති සැලැස්ම යටතේ රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීම සඳහා වැය වූ මුදල පිළිබඳව සහ අයභාර වියදම් ලෙස මෙය පවත්වාගෙන යෑම සඳහා 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා වැයකර තිබූ මුදල පිළිබඳව ද සාකච්ඡා විය. විශේෂයෙන්ම මෙහිදී සඳහන් වූයේ මේ සඳහා 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා අයභාර වියදම් ලෙස රුපියල් 75,889,769 ක් වැයකර තිබූ බවත් මෙමගින් 2017 සිට 2019 දක්වා ලැබී තිබූ ආදායම රුපියල් 15,896,360 ක් බවත් ය. මෙහිදී නාගරික සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සඳහන් කළේ මෙය හම්බන්තොට නගර සංවර්ධන සැලැස්මට අදාළ එක් අංගයක් බවයි. නමුත් මෙම ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියේ සැලැස්ම ක්‍රියාත්මක නොවීම නිසා මෙම ව්‍යාපෘතිය සාර්ථක වී නැති බව පැවසීය.

එසේම මෙය දිගටම පාඩු වී ඇති නිසා ආයතන දෙකක් සඳහා මෙහි කළමනාකාරීත්වය පැවරීම මගින් ලාභ ලබාගැනීමට කටයුතු කරන බවද පැවසීය. තවද රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීම සිදු වූයේ විදේශ ආධාර යටතේ බවත් මේ සඳහා උපදේශන කටයුතු පමණක් නාගරික සංවර්ධන අධිකාරිය සිදු කළ බවත් මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සතු මුදල් වියදම් නොකළ බවත් එම නිලධාරීහු පැවසූහ.

මෙහිදී කෝප් සභාපතිවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් සොයා බලා අදායම් ලබන තත්ත්වයට කටයුතු කරන ලෙසයි.

තවද 2017 වර්ෂයේ මීතොටමුල්ල කසළ කන්ද නායයෑමෙන් පසු මීතොටමුල්ල පුනර්ජීවන ව්‍යාපෘතියට අදාළව කසළ කන්ද ස්ථායිකරණය සඳහා මීටර් 30 සිට 12 දක්වා මට්ටම් කර බැලැන්කට් ලේයරයක් යෙදීම හා හරිතාගාර වායු විමෝචන ඒකක ස්ථාපනය කිරීමට පෞද්ගලික ආයතනයක් වෙත රුපියල් මිලියන 269.5 ක් 2020 වර්ෂයේ ලබාදී තිබීම පිළිබඳවත් එහි කාර්යසාධනය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය. නමුත් ස්ථායිකරණය කරන ලද කසළ පිහිටි ස්ථානය වර්තමානය වනවිට නිසි කළමනාකරණයකින් හා අධීක්ෂණයකින් තොරව පවතින බවත් මෙහිදී පැහිදිලි විය. මේ අනුව මේ ගැන පරීක්ෂණයක් සිදුකොට මාස 2ක් ඇතුළත වර්තාවක් ලබාදෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment