කීරි සම්බා සැඟවීම පිටුපස මෝල් මාෆියාවක් – හිතු හිතූ ගණන්වලට කීරි සම්බා විකුණති!

156

මේ දිනවල වෙළෙඳ පොළේ කීරි සම්බා සහල්වල විශාල හිඟයක් නිර්මාණය වී ඇත. පසුගිය දිනවල රුපියල් 290-300 අතර මිලකට සිල්ලර වෙළෙඳ සැල්වල අලෙවි වූ කීරි සම්බා කිලෝවක් සඳහා රජය මගින් මීට සති කිහිපයකට පෙර රුපියල් 260ක උපරිම සිල්ලර මිලක් නියම කළ අතර ඒ සමග ම තොග හා සිල්ලර වෙළෙඳ සැල් කීරි සම්බා සහල් අලෙවිය නවතා දමා ඇත.

මේ වනවිට සියලුම සහල් නිෂ්පාදකයන් තොග වෙළෙඳ සැල්වලට කීරි සම්බා සහල් සපයනු ලබන්නේ රුපියල් 280-300 අතර මිලකට වන අතර ඒ අනුව සිල්ලර වෙළෙඳ සැල්වල කීරි සම්බා අලෙවි කරනු ලබන්නේ රුපියල් 310-320ත් අතර මිලකටය. රජය මගින් උපරිම සිල්ලර මිලක් නියම කර ඇති නිසා ඇතැම් වෙළෙඳුන් කීරි සම්බා සඟවා ගෙන වැඩි මිලකට අලෙවි කරන බව පාරිභෝගිකයෝ පවසති.

මීට වසරකට පමණ පෙර ද මේ අයුරින් ම කීරි සම්බා සහල් හිඟයක් නිර්මාණය වූ අතර එහි දී සහල් ආනයනය කිරීමට රජය තීරණය කිරීම නිසා අර්බුදය තාවකාලිකව විසඳා ගතහැකි විය.

මේ අතර එක්තරා ප්‍රසිද්ධ සහල් නිෂ්පාදකයකු ගොවීන් ගෙන් විශාල වශයෙන් කීරි සම්බා මිලදී ගෙන සහල් ඒකාධිකාරියක් නිර්මාණය කිරීමෙන් පසුව එකවරම කීරි සහල් සැඟවීම පුරුද්දක් කරගෙන යන බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසති.

කීරි සම්බා සහල් හිඟය හේතුවෙන් හෝටල් කර්මාන්තය ද අර්බුදයට ලක්ව ඇති අතර එළවළු බත් සෑදීමට කීරි සම්බා සහල් වෙනුවට විකල්පයක් නොමැති වීම හේතුවෙන් සිය ආහාර අලෙවිය ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව හෝටල් හිමියෝ පවසති.
කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment