හෙට්ටිවීදිය රත්නවීදියක් කරන සින්තටික් මැණික් බිස්නස්

211

ස්වාභාවික මැණික් ලෙස රත්නපුරයේත් අලෙවි කරයි

සින්තටික් මැණික් යනු ආදේශකයක්

කූට ව්‍යාපාරිකන්ට ධන නිධානයක්

ස්වාභාවික පුෂ්පරාග කැරට් 1ක් රු.2500.00 යි

සින්තටික් පුෂ්පරාග කැරට් 1ක් රු.250.00යි

දියමන්ති පොයින්ට් එකක් රු.2500.00 යි, සින්තටික් දියමන්ති පොයින්ට් එකක් රු.150.00යි.

නිල් මැණික් ඇතුළු ඕනෑම ගලකට වෙළෙඳපොළේ සින්තටික්…

යුග, යුග පැරණි ස්වාභාවික මැණික් කර්මාන්තයට අභියෝග කරමින් ලොව ප්‍රථම කෘතිම මැණික නිපදවණු ලබන්නේ අදින් වසර 223 කට පෙර ප්‍රංශ ජාතික රසායන විද්‍යාඥයකු වූ vernevil විසින්ය. ඔහු විසින් ආරම්භ කරන ලද කෘතිම මැණික් නිෂ්පාදනය මේ වනවිට නවීන ක්‍රමවේදයක් යටතේ ඉතා උසස් තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත. කෘතිම නොහොත් ‘සින්තටික්’ මැණික් යනු ස්වාභාවික මැණික් සඳහා ආදේශකයක් ලෙස යොදාගන්නා කෘතිම නිෂ්පාදනයක් වුවද එය මේ වනවිට මෙරට මැණික් වෙළෙඳපොළ ආක්‍රමණය කළ ආක්‍රමණිකයකු බවට පත්ව ඇත. ඒ හේතුවෙන් ලොව පුරා ප්‍රසිද්ධ මෙරට මැණික් කර්මාන්තය මේ වනවිට යම් කඩා වැටීමකට පවා ලක්ව තිබෙන අතර මැණික් කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ රත්නපුරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල මෙය හඳුන්වන්නේ ගුලාබ් ව්‍යාපාරය ලෙසය. අනගි මිණිකැට මතුවන රත්නපුරය ප්‍රදේශයේ පවා ඇතැම් පිරිසක් විසින් මෙම ගුලාබ් ව්‍යාපාරය ක්‍රියාත්මක කර ඇති බැවින් බොහෝ දෙනකුගේ මතය බවට පත්ව ඇත්තේ රත්නපුරයෙන් පවා මැණිකක් මිලදී ගැනීම දැන දැනම අමාරුවේ වැටීමක් වශයෙන්ය.

● මැණික් පිළිබඳ ඉතිහාසය සැකෙවින්

ලොව අනගිතම මිණිකැට මතුවන රටක් ලෙස අප රටට හිමිව ඇත්තේ සුවිශේෂී වටිනාකමක්ය. එනයින් අප රට රත්නදීපය ලෙසින්ද ද්‍රවිඩ බසින් “මනි මයුරු” යනුවෙන්ද හඳුන් වන්නේය.

ලොව මෙතෙක් සොයාගෙන ඇති අධිකම මිලෙන් යුත් නිල් මැණික්වලින් පළමු ස්ථාන තුනම හිමිකරගෙන ඇත්තේ ද ශ්‍රී ලංකාවෙන් හමු වූ නිල් මැණික් ගල් තුනකට වීමද රටට ආඩම්බරයකි. එසේ සොයාගත් ලොව විශාලතම නිල් ආර්නූල අද ද නිව්යෝක් නගරයේ ප්‍රදර්ශනය සඳහා තැන්පත් කොට ඇත. එහි බර කැරට් 536 කි. ඉන්දියන් ජාතිකයෙකු අතින් එය විදේශ ගත වීම හේතුවෙන් ලෝකයේ බොහෝ දෙනෙකු එය හඳුන්වන්නේ ස්ටාර් ඔෆ් ඉන්දියා (ඉන්දීය තරුව) නමිනි.

1907 දී රත්නපුරයෙන් හමු වූ කැරට් 466 කින් යුත් “බ්ලු ජයන්” ඔෆ් ඔරියන්ට්” එහි දෙවන තැනද 1926 දී පමණ පැල්මඩුල්ලෙන් හමු වූ කැරට් 400 කින්යුතු “බ්ලූ බෙල් ඔෆ් ඒ ෂියා” තුන්වන තැනද හිමිකරගෙන ඇත. බ්‍රිතාන්‍යයේ එළිසබෙත් කුමරිය ඩයනා කුමරිය ආදී රාජකීයන්ගේ ද අත පැළැඳි මුදුවල පවා දකින්නට ඇත්තේ ලංකාවේ හමු වූ නිල් මැණික්ය. මෙලෙස මෙරටින් හමු වන මැණික් ලොව සුපතල වන්නේද අධික මිලෙන් යුතු වන්නේද එහි ඇති උසස් තත්ත්වය හේතු කොට ගෙනය. උපරිම වර්තනය සහ ආලෝකය විහිදුවීම අතින් ලක්පොලොවේ හමුවන මැණික් ලොව පළමු තැන හිමිකරගෙන ඇත.

මෙතැන් සිට ලියවෙන්නේ ලොව අනගිතම මිණිකැට මතුවන ලක් පොලොව මත සිදුවන තවත් අමුතු මැණික් වෙළෙඳාමක් සම්බන්ධවය. මේ ගනුදෙනුව බහුලව සිදුවන්නේ වැරදිලාවත් මැණිකක් හමු වී ඇතැයි ඉතිහාසයේවත් සඳහනක් නැති කොළඹ හෙට්ටිවීදිය මුල්කර ගනිමින්ය. රටේ තවත් ප්‍රදේශ බොහෝමයක ද දැනට වසර කීපයක සිට මෙම වෙළෙඳාම ව්‍යාප්තව ඇත.

රට මෙතෙක් දැනගෙන සිටියේ “මැණික්” යනු මහපොළව කැන පස මඩකර වෙර වීරියෙන් සොයාගන්නා වටිනා ස්වභාවික සම්පතක් ලෙසය. එය තව දුරටත් සත්‍යයක්ය. පැහැය ප්‍රමාණය සහ තවත් කරුණු කීපයක් එක් වූ විට එසේ සොයාගන්නේ ස්වාභාවික මැණිකක් වන අතර එය අධික මිලක් සහ වටිනාකමකින් යුක්තය. ඒ හරහා කෝටි ප්‍රකෝටිපතියන් වූ මිනිසුන් පිළිබඳව ද මැණික් හා බැඳුන වෙනම කර්මාන්තයක් පිළිබඳව ද කොතෙකුත් කතා ඇත්තේය.

● ස්වාභාවික මැණික් වෙනුවට සින්තටික් ගල් හැම තැනම

හෙට්ටිවීදිය රත්නවීදියක් කරන සින්තටික් මැණික් බිස්නස්

මේ කියන්නට යන මැණික් පිළිබඳ කථාව තරමක් වෙනස්ය. මැණික් ගලක පය හැපුනත් එය මැණිකක් බව නොදන්නා මිනිසුන්ට මේ කියන්නට යන ගල් මැණික් ගල්ය. පැහැය සහ පිරිසිදුකම අතින් ස්වභාවික මැණික් පරයන තරමේ හැඩරුවින් යුක්තය. රුපියල් හත් අට දහසක් වියදම් කළ හැකි නම් මේ කියන මැණික් ගල් අහුරක් දෙකක් ගෙදර ගෙනයා හැකිය. මෙහි ඇති අභාග්‍යසම්පන්න කරුණ වන්නේ ඇතැම් කූට ව්‍යාපාරිකයන් එවැනි ගල් ස්භාවික මැණික් ලෙස වර නඟමින් මැණික් පිළිබඳ සැබෑ තතු නොදත් බොහෝ දෙනෙකු අමාරුවේ දැමීමය.

මේ සම්බන්ධව සැබෑ තතු රටට අනාවරණය කිරීම පිණිස හෙට්ටිවීදිය ආශ්‍රිතව එවැනි ව්‍යාපාර පවත්වා ගෙන යන ස්ථාන කීපයකට ගොඩ වූ අතර එහිදී හමු වූ ව්‍යාපාරිකයෝ තමන් කරගෙන යන ව්‍යාපාරයේ තතු විත්ති නොසඟවා හෙළි කිරීමට ඉදිරිපත් වූහ. ඉන් එක් අයෙක් අප සමග කතා බහට එක්වන්නේ මෙසේය.

‘මේක මම නිත්‍යනුකූලව කරගෙන යන බිස්නස් එකක්. එහෙම නැත්නම් මේක ප්‍රසිද්ධියෙ කරන්න බැනේ. මේ තියෙන්නේ ඔක්කොම සින්තටික් ගල්. ඒ කියන්නේ AD ගල්. A/D යනු ව්‍යාපාරිකයන් කෘතිම ගල් හැඳින්වීම පිණිස යොදාගන්නා කෙටි යෙදුමකි) මේව අපිට එන්නේ ඉන්දියාවෙන් හා චීනයෙන්. මේ හැම ගලක්ම නීත්‍යානුකූලව රටට ගෙන්වන කෘතිම ගල්. මේව දියුණු තාක්‍ෂණය යොදාගෙන කර්මාන්ත ශාලා ඇතුලේ හදන ගල් විශේෂයක්. මේව නිෂ්පාදනය වෙන්න ගත්තේ ස්වභාවික ගල්වල තියෙන දුර්ලභ බව සහ මිල අධික බව හින්ද වෙන්න ඇති. කොහොම හරි දැන් අවුරුදු ගානක ඉදල ලංකාවට එනවා.

“අපේ බිස්නස් එක වෙන්නේ බොහෝ දුරට ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පීන්ට. එහෙම නොවන අයත් එනවා. හැබැයි කොහොම ආවත් ඒ අයට මේ ගල් විකුණන්නේ ස්භාවික මැණික් ගල් විදියට නොවෙයි. ඒක ඒ අයත් දන්නවා. A/D කෑල්ලක් එහෙම නැත්නම් ලොට් එකක් වුණත් අපෙන් ගන්න පුළුවන්. ඒව අපි විකුණන්නේ තොග මිලට. හැබැයි කොයි වෙලාවකවත් මේව ස්වභාවික මැණික් කියල අපි විකුණන්නේ නෑ. එහෙම අවසරයක් ඇත්තෙත් නෑ.

මිනිස්සු අතර විශ්වාසයක් තියෙනවනේ ස්වභාවික මැණික් පළඳීමෙන් අපල කරදර දුරුවෙලා වාසනාව උදාවෙනව කියලා. ඒක ඇත්තක් නම් මේ ගල් පැළඳීමෙන් ප්‍රතිඵල ලබන්න බෑ. මොකද මේව සියයට සියයක්ම කෘතිමවනි පද වූ ගල් විශේෂයක්.”

ඔහු පවසන දෙය සැබෑවක්ය. එහි ප්‍රදර්ශනය පිණිස තබා ඇති විවිධ පැහැයෙන් හා හැඩයෙන් යුත් ගල් වර්ග බොහෝ විය. ඒවා සැබවින්ම මැණික් ගල් වූවානම් මැණික් පිළිබඳ වඩාත් ප්‍රසිද්ධියට පත් වන්නේ රත්නපුරය නොව හෙට්ටිවීදිය වීමට තරම් එහි නොයෙක් ආකාරයෙන් සකසා තිබූ ගල්වර්ග බොහෝ විය. හෙට්ටි වීදියේ කෙරෙන සන්තටික් ගල් ව්‍යාපාරයේ අරුමය සොයාගෙන යන ගමනේ තවත් විචිත්‍ර සිදුවීම් සොයාගෙන අපි ඔහුගෙන් සමු ගතිමු. ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට නුදුරින් තවත් එවැනිම ව්‍යාපාරික ස්ථාන කීපයකි. එහි සිටි ව්‍යාපාරිකයෙක් අප හා කතාවට වැටුණේය.

“මේ තියෙන්නෙත් A/D ගලක්. හැබැයි බැලූ බැල්මට කාටවත් කියන්න බෑ, මේක කෘතීම ගලක් කියලා. පාට සහ පැහැය දැක්කම ඕන කෙනෙක් හිතන්නේ මේක පිරිසිදු පුෂ්පරාග ගලක් කියලා. ඒ තරමටම මේ ගලත් ස්භාවික පැහැයට සමානයි. කැපුමත් එහෙමයි. හැබැයි දන්න කෙනා දන්නව මේක සින්තටික් කියලා. අද වෙළෙඳපලේ ගත්තොත් පුෂ්පරාග කැරට් 1 ක් (කැරට් එකක් යනු මිලි ග්‍රෑම් 200 කි) රුපියල් 2500ක් විතර වෙනවා.

මේකේ කැරට් එකක් වෙන්නේ රුපියල් එකසිය පනහක් වගේ පොඩි මිලක්. නිලක් ගත්තත් රතක් ගත්තත් එහෙමයි. ලංකාවේ හමුවන වටිනාගල්වලට සමාන කළ හැකි ඕනෑම සින්තටික් ගලක් වෙළෙඳපොළේ තියෙනවා.”

අද අප රටේ හමුවන ස්වාභාවික මැණිකැටයක් මිලදී ගැනීමට යන මිල මෙන් දහ පහළොස් ගුණයකින් අඩු මුදලකට කෘතිම මැණික් මිලදී ගැනීමට හැකියාවක් පවතින්නේය. වෙළෙඳපොළෙහි රුපියල් පන්දහසකට ඉහළින් යන පුෂ්පරාග කැරට් එකක් මෙවැනි තැනකින් රුපියල් දෙසීයක් වැනි මුදලකට ද රුපියල් විසිදහසක් වැනි මිලකට අලෙවි වන රතු මැණික් කැරට් එකක් රුපියල් දෙසීයක් තුන්සීයක් අතර මිලකට ද ඒ ආකාරයට ඕනෑම වර්ගයකට සමාන කෘතිමව නිපදවා ඇති අනෙකුත් ඕනෑම ගල් වර්ගයක් රුපියල් පන්සියයකට අඩු මුදලක් ගෙවමින්ද මිලදී ගත හැක.

එසේ මිලදී ගන්නා ගල් වර්ග අතුරෙන් ඉන්දියාවේ නිෂ්පාදිත ගල් වර්ග සහ චීනයේ නිපදවන ගල් වර්ග අතර ද ඇත්තේ මිල ගණන් දෙකකි. ඉන් ඉන්දියාවේ නිපදවන ගලට ලැබී ඇත්තේ පහළ අගයකි.

ලක් පොළොවේ හමුනොවන වටිනා ගල්වර්ගයක් වන දියමන්ති (ඩයමන්ඩ්) වෙනුවට පවා ඒ අයුරින්ම නිපදවා ඇති කෘතිම ගල් විශේෂයක් පවතී. ඩයමන්ඩ් යනු මිලෙන් අධිකම ගල්වර්ගයක් ලෙස කා අතරත් ප්‍රකටය. පොයින්ට් ලෙස බර ගණනය කර වෙළෙඳ පොළෙහි අලෙවි වන සැබෑ දියමන්තියක පොයින්ට් එකක බරකින් යුත් ගලක් රුපියල් 2500ට අලෙවි වන්නේය. කෘතීමව සැකසූ එවැනි ගලක මිල වන්නේ රුපියල් පනහක් වැනි පුංචි මුදලක්ය. ස්විට්සර්ලන්තය වැනි රටවලින් එවැනි ගල් බහුලව ගෙන්වන අතර මෙරට වෙළෙඳපොළේදී එම ගල් හඳුන්වනු ලබන්නේ ඇමරිකන් ඩයමන්ඩ් යනුවෙන්ය.

“ඒ විතරක් නෙවෙයි කෙනකුට ඕනෑ නම් තමන් කැමැති හැඩයකට ප්‍රමාණයකට ගලක් සකසා ගන්න අපි ගාව ඒ සඳහා නිෂ්පාදනය කරපු A/D තියෙනවා. ඒව තියෙන්නේ “බාර්” විදියට. එහෙම බාර් එකක් අරගෙන තමන් කැමැති ඕනෑම හැඩයකට බරකට මැණික් කපන තැනකට දීල කපා ගන්නත් පුළුවන්. ඕනම පාටකින් දෙන්න අපි ළඟ බඩු තියෙනවා.”

“හැබැයි මේවා අවසානයේදී පාරිභෝගිකයා අතට යන්නේ කෘතිම ගල් ලෙසම ද ස්වභාවික ගල් විදියටද කියල කියන්න අපි දන්නෑ. අපි දන්නේ අපි විකුණන්නේ කෘතිම ගල් කියල විතරයි. මොකද අපි ළඟට එන්නේ අපිත් එක්ක ගනුදෙනු කරන්නේ මේ බිස්නස් එකට අදාළ අය විතරයිනේ. අපි හිතමු එහෙම නොවන කෙනෙක් ආව කියල. ඒ අයට අපි කියනවා මේ ගල්වල ස්වභාවය. ඒ අයට තේරුම් කරල දෙනව මේකෙ තියෙන වෙනස. මොකද? බිස්නස් එකට බොරු කරන්න බැහැ. එහෙම කළ අයගේ බිස්නස් වැටෙනවා.”

ඔහු පැවසු තොරතුරු නිවැරදිය. තමන් නියුතු ව්‍යාපාරයත් එහි ස්වභාවයත් පිළිබඳ ඔහු පවසන තොරතුරු සැබෑවක්ය. ඒ සඳහා නීත්‍යානුකූලව ලබාගත් අවසරයක් ද සහිතව ඔහු ඇතුළු හෙට්ටිවීත්‍ථය ආශ්‍රිතව තවත් පිරිස් මෙම වෙළෙඳාමේ නියුක්තව ඇත. එවැනි තැන්වලින් කෘතිම ගල් මිලට ගන්නා ස්වර්ණාභරන හා මැණික් ආශ්‍රිත නිෂ්පාදනයේ යෙදෙන්නන්ද ගල් මිලදී ගන්නේ දැනුවත් භාවයෙන් යුක්තවය. එහෙත් මේ සෑම දේකම අවසන් හිමිකරුවන් පිරිසක් ඇත. ඔවුන් පාරිභෝගිකයන්ය. බොහෝ දෙනෙකු වැඩ වරද්දා ගන්නේ එතනදීය.

මැණික් පිළිබඳ ප්‍රගුණ කළ දැනුමක් නොමැති පිරිස් අතට මෙවැනි ගල් පත්වීම හේතුවෙන් ඒවා සැබෑ මැණික් ලෙස වංචනික ලෙස පාරිභෝගිකයා අතට පත් කිරීමෙන්ද A/D හෙවත් කෘතිමව නිපදවන ගල් ව්‍යාපාරය දැන් ජාවාරමක් බවට පත් වි හමාරය.

විශේෂයෙන් මේ ජාවාරම ජයට සිදුවන්නේ අපල දුරුවීම පිණිස මැණික් පැළඳීමට යාමේදීය. අපල දුරුවීම පිණිස මැණික් පැළඳීම මේ වන විට රටේ බහුලව දක්නට ලැබෙන අතර පැළඳීමට සුදුසු ගල තීරණය වන්නේ උදාවී ඇති අපලයේ තරමටය. එවැනි පිරිස් ඉලක්ක කර රටේ තැන් තැන්වල මෙම ජාවාරම ජයට සිදුවන අතර තමන් පළඳින ගලේ ව්‍යාජ බව හෝ සැබෑ බව නොදැන ඇතැමෙක් ජාවාරම්කරුවන්ගේ උගුලට හසුවන්නේය. (එසේ නොකරන තැන් රටේ තිබිය හැකි අතර මේ කියන්නේ ඔවුන් සම්බන්ධව නොව ඇතැම් කූට වෙළෙඳුන් සම්බන්ධවය) එසේ මිලට ගන්නා කෘතිමව සැකසූ ගලක සැබෑ මිලවන රුපියල් දෙසීයක් වැනි මිලක් වෙනුවට දහපහළොස්දහසක් ගෙවමින් කූට වෙළෙඳුන්ගේ උගුලට හසුවන්නන් තමන් මිලදී ගත් ගල ජීවිත කාලය පුරා ආරක්‍ෂා කර ගන්නේද එය ව්‍යාජ මැණිකක් බව නොදැනය. ගල් පැළඳ දුරු කරගත හැකි අපලයක් තර්ක බුද්ධියට හසු නොවන නිසා මේ රැවටීම ගැන යමක් කීමට අපට අපහසුය.

“මැණික්” පිළිබඳ ගනුදෙනුවේදී බොහෝ දෙනෙකු මුලාවේ වැටෙන්නේ මේ නොදැනුවත්බාවය හේතුවෙන්ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment