තත්ත්ව පාලන රසායනාගාරය තිබුණා නම් ඖෂධ නිසා ඇතිවන සංකුලතාවන් අඩු කරගන්න තිබුණා- සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ්

74

ජාතික ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරය නිසි ලෙස ක්‍රියාත්මකව පැවතියේ නම් ඖෂධ නිසා ඇති වන සංකූලතාවන් 95% ක් අඩු කර ගත හැකිව පවතින බවත්, පසුගියදා සිදු වූ මරණ ත්‍රිත්වය ද වළක්වා ගත හැකිව තිබූ බවත්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනුබද්ධිත, ජාතික ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරය නිසි නඩත්තුවක් නොමැතිව පරීක්ෂණ රැසක් ද නතර වී එම රසායනාගාරය වැසීයෑමේ අවදානමක් ද මතුව ඇතැයි, එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.

ජාතික ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරය මීට වසර තිහකට ප්‍රථම සිය සේවාවන් ආරම්භ කළත්, අද වනවිට එහි සේවයේ නියුතුව සිටිය යුතු රසායනාගාර වෘත්තීයවේදීන් තිස්දෙනා පස්දෙනා දක්වා අඩු කර ඇති බැවින් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

ඖෂධයක් වෙළෙඳපොළට මුදාහැරීම සඳහා අවම වශයෙන් අවස්ථා තුනකදී රසායනාගාර පරීක්ෂාවකට ලක් කළ යුතු බවත්, ඒ අනුව, ඖෂධය ලියාපදිංචියට පෙර, ලියාපදිංචි ඖෂධයක තොග ගෙන්වීමට පෙර සහ භාවිතකරමින් සිටින ඖෂධයක් නව කාණ්ඩයක් යටතේ නැවත ගෙන්වීමට පෙර එම පරීක්ෂාවන් සිදු කළ යුතුව ඇති බව හෙතෙම සඳහන් කර සිටී.

කල්මුණේ, තෙල්දෙණිය, මාතර අශ්රෝෆ් අනුස්මරණ රෝහල සහ ජාතික රෝහලේද බරපතළ සංකූලතා ඇති වූ සහ පේරාදෙණිය ළමා රෝහලේහි වයස අවුරුදු දෙකක බිළිදෙකු මිය යෑම පිළිබඳව චෝදනා ලැබූ ප්‍රොපනොල් නිර්වින්දන ඖෂධය පසුව පරීක්ෂා කිරීමේදී ක්ෂුද්‍ර ජීවින්ගේ හා ක්ෂුද්‍ර ජීව කොටස් අභ්‍යන්තරයේ තිබූ බව සනාථ වී ඇතැයි ද සඳහන් කළ රවි කුමුදේශ් මහතා, සමුහ වශයෙන් දෘෂ්ටි ආබාධ ඇති කළ සහ පසු දෑස් අන්ධ කරවූ ප්‍රෙඩ්නිසිලෝන් අක්ෂි දියරයට අදාළවත් අතරමැදි දූෂක කාරකයන් සහිත බව පසුව කළ පරීක්ෂාවන් ගෙන් තහවුරු වී තිබූ බව ද පැවසීය.

පවතින තත්ත්වය යටතේ ජාතික ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරය නිසි නඩත්තුවන්ට යටත්ව පවත්වාගෙන යෑමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කළේ නම් හානියට පත් ජීවිත රැකගත හැකිව තිබූ බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මේ අතර ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය රජයේ රසායනාගාරවල නොමැති වීම හේතුවෙන් වෙළෙඳපොළේ පවතින ආහාරවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම බරපතළ ගැටලුවක් වී ඇතැයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

දිවයින පුරා රාජකාරියන්හි යෙදී සිටින සිය සංගමයේ නිලධාරීන් ආහාර සුරක්ෂිතභාවය පරීක්ෂා කිරීම සඳහා රසායනාගාර වෙත සාම්පල යැවීම සිදු කළත්, ඒ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍යයන්හි හිඟය පිළිබඳව අනුමත රසායනාගාරවලින් මේ වනවිටත් තමන්ව දැනුවත් කර ඇතැයි ද පෙරේදා (22 දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

පවතින තත්ත්වය යටතේ අධිකරණමය කටයුතු සඳහා යවනු ලබන රසායනාගාර සාම්පල පරීක්ෂා කිරීම ද ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති බවත්, කියා සිටි ඒ මහතා රජයේ රස පරීක්ෂකවරුන්ට සහ අනුමත රස පරීක්ෂකවරුන්ට අවශ්‍ය පහසුකම් සහ රසායනික ද්‍රව්‍ය සැපයිය යුතු බවත්, එසේ නොවන්නේ නම් වෙළෙඳපොළ තුළ භාවිතයට නුසුදුසු බොහෝ ආහාර ද්‍රව්‍ය අලෙවි විය හැකි බවත් හෙතෙම වැඩිදුරටත් අනතුරු අඟවා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment