නූතන මිනිහා යනු කවරෙක් ද?

234

සිතුවම – එගොන් ෂියෙල් විසිනි.

කාල් ජැස්පර්ස් (Karl Theodor Jaspers, 1883-1969) යනු ජර්මානු මහා දාර්ශනිකයෙකි. ඔහු ලියා පළකළ දර්ශන විද්‍යාව (Philosophy, 1969), ‘ඉතිහාසයේ ප්‍රභවය සහ එහි පරමාර්ථය (The Origin and Goal of History” 1949), ‘මහා දාර්ශනිකයෝ (The Great Philosophers, 1957-1966), සහ ‘මනුෂ්‍යත්වයේ අනාගතය (The Future of Mankind, 1961)වැනි කෘති ජාත්‍යන්තර විදග්ධ ජනසමාජයේ ඉමහත් පැසසුමට ලක්විණ. දර්ශන විද්‍යාව පිළිබඳ ප්‍රකාශිත කිසිදු නිර්දිෂ්ට ග්‍රන්ථ නාමාවලියක් ඔහුගේිජරමානු දෝෂය (The Question of German Guilty, 1947) නම් කෘතිය සඳහන් නොකර නොසිටි යි. මේ මහා උගතා සිය ජීවිත කාලය තුළ දී ලියා පළකළ පොත් ප්‍රමාණය තිහක් පමණ වෙයි. ඊට අමතරව ඔහු තව අතින් ලියූ පිටු 30000ක් පමණ ඉතිරිකර ගොස් තිබේ. පහත දැක්වෙන්නේ 1949 වැනි වසර ජිනීවා නුවර පැවති මහා ප්‍රාඥයන්ගේ අන්තර්ජාතික සම්මේලනය (Rencontre internationales de Geneve) අමතා ඔහු විසින් පළකරන්නට යෙදුණු අදහස් සමුදායකි.

පසුගිය අඩ සියවස තුළ මිනිහා කළ කී දෑ විමසා බලන කල සිත චකිතයට පත්වෙයි. ඔහු අතීතය සමඟ වූ සියලු බැමි සිඳ බිඳ දමා ඇති සේ ය. පවතින මොහොත මත පමණක් පැලපදියම්ව දවසරින හෙතෙම සිය දිවිය දෛවයට භාර දී තිබේ.

නූතන මිනිහා යනු කවරෙක් ද?

වර්තමාන මිනිහා අතීතයෙන් මුළුමනින්ම බැහැරව වෙසෙතැයි කියා සිතීම මුළාවකි. නමුත් දැනටමත් නටඹුන්ව ගොස් ඇති ඒ අතීතය තව දුරටත් ඒ මිනිහාගේ ජීවිතයේ තීරණාත්මක අංගයක් නොවෙයි. අතීතයෙන් එදා ලත් ඒ රැකවරණය අද ඔහුට හීනයක් පමණි.

දැනටමත් ශූන්‍යතාවේ පාතාලයට ඇද වැටී ඇත්තාක් බඳු මේ නූතන මිනිහා අපේක්ෂා භංගත්වයට පත්ව විනාශයේ විජයග්‍රහණයට හසුව එහි වෙසෙයි. ‘දෙවියෝ දැනටමත් මියගොස් ඇත්තා හ’ යන දිනෙන් දින බලෙන් වැඩෙන නීට්ෂේගේ වැකිය අද අපට නිතර ඇසෙයි. මිනිස් ජීවිතය එකවරම පොදු මහජන ජීවිතයක් වී ඇත. මිනිහාට තනි පුද්ගලයෙක් ලෙස ස්වාධීනව සිතීමට තිබෙන ඉඩකඩ දිනෙන් දින යටව ගොස් එතැන බාල බයිස්කෝප්වලින් හා ප්‍රචාරක දේශපාලනය විසින් තෙරපන ලද තාවකාලික පරාධීන අනාථ යථාර්ථයකින් පුරවා තිබේ.

යන එන මං නැතිව වල්මත් වුණ මියයන හැඟීමෙන් මැඬුණු සිතැති හෙතෙම කවර ආකාරයක හෝ කිසියම් බලවත් ව්‍යාපාරක් තුළට රිංගාගෙන තමාට අහිමිවුණු ඒ අභිමානය ‘අපි’ යන හැඟීම තුළ සෙවීමට තැත්කරයි. තව සමහර අය කිසිත් විකල්පයක් නැතියෙන් තමන්ගේ ආතක් පාතක් නැති අස්ථාවර පැවැත්මේම එල්බගෙන සිටිමින් ඉන් ගැලවීමට දෙවියන්ගේ පිහිට පතයි.

මෙකී ශූන්‍යතාව නිසා මුසුප්පු වී සිටින වෙනත් අය සමඟ එක්ව සංගම් ගතවෙන ඔහු අලුතින් පාදා මතුකරගත් මේ අමුතු ඇත්තෙන් ඇළලී යමින් සිටියි. ඉන් කිසියම් රක්ෂණයක් බඳු හැඟීමක් උපයා ගන්නා ඔහු එය කෙරේ තව තව තදින් බැඳෙයි. ඒ මන්ද යත් ඒ ඊනියා ඇත්ත ඔහුගෙන්ම ආවේශ වී ඇති ඇත්තක් නිසා ය. නැතිනම් කිසියම් දෙයක් විශ්වාස කිරීමට ඔහු තුළම පවත්නා ප්‍රචණ්ඩකාරී ආවේගාත්මක අවශ්‍යතාව නිසා විය හැකි ය.

මේ අතර කිසියම් විශ්වීය ඉතිහාසක් ගැන දොඩවන පිරිසක් ද වෙයි. සමස්ත ඉතිහාසයම තනි සිතිවිල්ලක් මෙහෙයා එය සිය මිටින් ගත හැකැයි කියා ඔවුහු සිතත්. ඉතිහාසඥයන් ලෙස පෙනී සිටිමින් අතීතයට වැඩදමන මහා කාර්මික ශිල්පීන් රැසක් බඳු ඔවුහු ඒකාධිකාරී බලයක වාරුවෙන් මුළු ඉතිහාසයම තමාට නතුකර ගත හැකැයි කියා උදම් අනත්. සකළ ඉතිහාසය පැහැර උත්තෝලනය කළ හැකි දණ්ඩියම් ලීවරයක හිමිකාරයන් මෙන් ඔවුහු හැසිරෙත්. අනාගත මිනිහා නව මඟකට හැරවීමේ පරම වරම තමා සතුව ඇතැයි කියා ඔවුහු විශ්වාස කරත්.

එසේම මේ පිරිස අතර උමතුවෙන් හා ජීවිත පරිත්‍යාගයෙන් යුතුව කිසියම් පක්ෂයකට හෝ නායකයකුට සේවය කරන සුවච කීකරු අඳබාල චක්ගෝලයන් රැසක් ද වෙයි. මුසාව ඔඩුදුවා ගිය වටපිටාවක ජීවත්වෙන ඔවුහු සිය නායකයන්ගේ නියෝග ක්‍රියාත්මක කරමින් ඕනෑම අපරාධයක් කිරීමට සැදී පැහැදී සිටිත්.

අපේ කාලයේ මිනිහා දකින විට ඔහු ව්‍යාකූල අවුල් ජාලයක ගිලී ඇතැයි කියා සිතෙයි. එකවර ම සහජාසාව ඔහුගෙන් පිටතට පැන ගාල කඩාගෙන දුවයි. ඉතිහාසය තුළින් උපයාගත් සංයමයෙන් සන්නද්ධව, යදමින් බැඳ, යහමින් පාලනය කර ඇතැයි කියා අමනෝඥ ලෙස අප මෙතෙක් සිතා සිටි මිනිස් ශිෂ්ටාචාරයේ කඩතුරාව කිසියම් දෙයක් විසින් ඉරාදමනු ලැබ තිබේ.

නූතන මනෝවිද්‍යාව මේ පාතාලයේ පවත්නා නරකාදි ලක්ෂණ දැනටමත් හඳුනාගෙන ඇත. ඥානනය මෙහෙයා එය මැඬලිය හැකි යැයි සිතන ඇය මේ තත්ත්වය කෙරෙහි උරණ නොවී එය සාධාරණීකරණය කරගත හැකි මඟක් සොයමින් සිටියි.

අනුවාදය ;
උදයංග අමරසේකර
ප්‍රංශය

[email protected]

මූලාශ්‍රය: KARL JASPERS, l’HOMME
ROMPT LES PONTS AVEC LE PASSE (RENCONTRES INTERNATIONALES DE
GENEVE, 1949) IN l.HOMME ET LE
MONDE MODERNE, G. BOLLOC ET G. NEGRE, PARIS EDITIONS DELAGREVE,
1971, P. 275.

සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment