බීමතින් පැදවූ මෝටර් රථයේ ගැටී ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ සහෝදරයෝ මියයති

470

අනතුරත් සමඟම ත්‍රීරෝද රථය ගිනි ජාලාවක් වෙයි

ඉකුත් සඳුදා (10 දා) රාත්‍රී 9.15ට පමණ අරංගල පොලිසිය අසල දී සිදුවූ මාරාන්තික රිය අනතුරකින් එකම පවුලේ සොයුරියන් දෙදෙනකු සහ පිරිමි පුදගලයකු මරණයට පත්ව ඇතැයි නාඋල පොලිසිය පවසයි.

අධික බීමතින් සිටි පිරිසක් රැගත් මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථය මීටර් 50ක් පමණ ඇදීගොස් ගිනි ගෙන තිබේ.

රිය අනතුරින් සහ ගිනි ගැනීම නිසා සිදුවූ දරුණු තුවාල හේතුවෙන් මිය ගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියැදුරා වූ පිළිහුඬුගොල්ල පදිංචිකරුවකු වූ ජී.එම්.විමලරත්න (65), එච්.එම්.ජී.සෝමාවතී (76) සහ එච්.එම්.ජී.නන්දාවතී (71) යන අයවලුන් වෙති.

තම නෑ දියණියකගේ උපන් දින සැමරුමට ආහාර ගෙන ගොස් නැවත සිය නිවෙස කරා පැමිණ නිවෙස පෙනි පෙනී තිබිය දී මෙම අනතුර සිදු ව ඇත.

සිද්ධියෙන් පසු පලා යමින් සිටිය දී රියැදුරා අත්අඩංගුවට පත්ව ඇති අතර අනෙත් පුද්ගලයා තුවාල ලබා තිබේ.

සිද්ධියෙන් මිය ගිය සෝමාවතී නමැති කාන්තාව පොලොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඇය මෙම අනතුරට මුහුණ පා ඇත්තේ නාඋල අරංගල ප්‍රදේශයේ පදිංචි සිය සොයුරියගේ නිවසට පැමිණ සිටිය දීය.

නාඋල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීහු සිද්ධිය සිදුවූ වහා පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.

නාඋල – නිමල් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment