අස්වීමේ සහතිකය ලබා ගැනීමට ගොස් පාසලේ සිරකරගෙන සිටි සිසුවිය ආතතියට පත්ව රෝහල්ගත කරයි

5537

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් වෙත තර්ජනය කළේ යැයි මානසික ආතති තත්ත්වයකට පත්වූ සිසුවිය ප්‍රතිකාර සඳහා ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇත.

තමන්ගේ අස්වීමේ සහතිකය ලබාගැනීම සඳහා පාසලට ගිය අවස්ථාවේ විදුහල්පතිනිය නොමැති බව කියමින් පැය ගණනක් ඇය කාර්යාලයේ රඳවාගෙන බැණ තර්ජනය කිරීම මත මානසික ආතති තත්ත්වයට පත්ව ඇති බව ඇගේ දෙමව්පියෝ පවසති. දියණිය මෙයට පෙර ද කිසියම් මානසික ආතති තත්ත්වයකින් පෙළෙමින් සිටි අතර ප්‍රතිකාර ලබාගත් බව ද පාසලට ගිය අවස්ථාවේ අස්වීමේ සහතිකය ලබාදිය නොහැකි බවත් සිත් පීඩා ඇතිකරන තවත් කරුණු දැක්වීමත් මත ඇගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඇති බව ද දෙමාපියෝ පවසති.

සම්මුඛ පරීක්‍ෂණයකට පෙනී සිටීම සඳහා අස්වීමේ සහතිකය අත්‍යවශ්‍යව තිබූ මොහොතක එය ලබාගත නොහැකි බව කී විගස තමා දැඩි සේ කලබල වූ බව සිසුවිය පවසයි.

විදුහල්පතිනිය විවාහ මංගල උත්සවයකට සහභාගිවීම සඳහා කුරුණෑගල ප්‍රදේශයට ගොස් සිටි බැවින් එදින සහතිකය ලබාගැනීමට නොහැකි බවට අනධ්‍යයන කාර්ය මණ්ඩලය ප්‍රකාශ කළ බව ද ඇය පවසයි.

අස්වීමේ සහතිකය ලබාදීමට නම් රුපියල් 500 ක මුදලක් ගෙවා ආදි හිෂ්‍ය සංගමයට බැඳෙන ලෙස ද ඔවුන් දන්වා තිබේ. ඒ අනුව සිසුවිය ඊට අදාළ පෝරමය පුරවා මුදල් ලබාදී ඇත. නියෝජ්‍ය විදුහල්පතිනියගේ අත්සනින් යුතු අස්වීමේ සහතිකය පසුව සිසුවිය වෙත ලබාදීමට පාසල් බලධාරීන් කටයුතු කර ඇත.

සිසුවිය එය රැගෙන පාසලෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වය සඳහා පුරවා දුන් පෝරමයත් මුදලත් නැවත ඇයට ලබාදීමට අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවිකාවක කටයුතු කළේ යැයි ද සිසුවිය ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් අදාළ විද්‍යාලයෙන් විමසන අවස්ථාවෙහි නියෝජ්‍ය විදුහල්පතිනිය කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසරයකින් තොරව මාධ්‍ය වෙත තොරතුරු ලබාදිය නොහැකි බවය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment