නිපොන් පේන්ට් අභියෝග කුසලාන ලීග් රග්බි – සී. ආර්. ඇන්ඩ් එෆ්.සී. අපරාජිත බව රැක ගනී

64

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයෙන් එල්ල වූ පීඩනයට අසීරුවෙන් මුහුණ දෙමින් ලකුණු 03 ක සියුම් ජයග්‍රහණයත් සමගින් “නිපොන් පේන්ට් අභියෝග කුසලාන” ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ තම අපරාජිත බව තවදුරටත් ආරක්ෂා කර ගැනීමට සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. පිල ට හැකියාව ලැබිණි.

එහි අවසන් ලකුණු පුවරුව සටහන් වූයේ 12 – 09 ක් ලෙසිනි.

අතිශය තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 05 – 03 ක් ලෙස පෙරමුණ ගැනීමට සී. ආර්. පිලට හැකි විය. ජයග්‍රාහී සී. ආර්. පිල ගෝල් දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර පරාජිත හැව්ලොක්ස් පිල වෙනුවෙන් සටහන් වූයේ දඬුවම් පහර 03 ක් පමණි. සී. ආර්. ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු අමිත් ගුණසිංහ (01) සහ සුබයිර් දොරේ (01) බැගින් උත්සාහක දිනුම් සටහන් කළ අතර එහි එක් ප්‍රවර්තනයක් සාර්ථක කර ගැනීමට මනිල්ක සුලක්ෂණ රූබේරු ට හැකි විය.

පරාජිත හැව්ලොක්ස් පිල වෙනුවෙන් සටහන් වූ දඬුවම් පහර ත්‍රිත්වය ප්‍රතිවාදී ගෝල් කණු අතරින් යොමු කිරීමට සැමුවෙල් මදුවන්ත සමත් විය.

එමෙන්ම, සී. එච්. ඇන්ඩ් එෆ්. සී. පිල පරාජය කරමින් ලකුණු 08 ක ජයග්‍රහණයක මිහිර අත් විඳින්නට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූයේ තම 07 වැනි ජයග්‍රහණය සනාථ කර ගනිමිනි.

තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 18 – 12 ක් ලෙස පසු බැස සිටි මහනුවර පිල දෙවන භාගය ආරම්භ වීමත් සමගම සංවිධානාත්මක ක්‍රීඩා රටාවක නිරත වෙමින් ලකුණු 32 – 24 ක් ලෙස ජයග්‍රහණය සටහන් කර ගැනීමට සමත් වීම ඒ අතර කැපී පෙනුණි.

ජයග්‍රාහී මහනුවර පිල ගෝල් දිනුම් 03 ක්, එක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 02 ක් සාර්ථක කරගත් අතර පරාජිත සී. එච්. පිල එක් ගෝල් දිනුමක්, එක් උත්සාහක දිනුමත් සමගින් දඬුවම් පහර 04 ක් නිවැරදි එල්ලයට යොමු කිරීමට සමත් විය.

නිපොන් පේන්ට් අභියෝග කුසලාන ලීග් රග්බි - සී. ආර්. ඇන්ඩ් එෆ්.සී. අපරාජිත බව රැක ගනී

මහනුවර ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු සනුෂ්ක අබේවික්‍රම (01) ශ්‍රීනාත් සූරිය බණ්ඩාර (01) තරින්ද රත්වත්තේ (01) වජිඩ් ෆවුමී (01) එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළ අතර එහි එක් ප්‍රවර්තනයක් සහ දඬුවම් පහර 02 ක් නිවැරදිව ප්‍රතිවාදී ගෝල් කණු අතරින් යොමු කිරීමට තරින්ද රත්වත්තේ සමත් වූයේ තම පෞද්ගලික ලකුණු 14 ක් මෙම තරගය තුළ සටහන් කරමිනි.

පරාජිත පිල වෙනුවෙන් කැපී පෙනුණු ජනිත් ලක්ෂර (01) සහ නිරෝෂ් පෙරේරා (01) බැගින් උත්සාහක දිනුම් සටහන් කර අතර එහි එක් ප්‍රවර්තනයක් සමඟින් දඬුවම් පහර 04 ක් නිවැරදි එල්ලයට යොමු කිරීමට හිරුෂ නෙත්මිණ ට හැකිවිණි.

“පළඟ” අංශයේ තරග ආශ්‍රිතව ජයග්‍රහණ සටහන් කර ගැනීමට පොලිසිය සහ යුද හමුදාව සමත් විය.

යුද හමුදාව ඉදිරියේ ගුවන් හමුදාව ලකුණු 21 – 15 ක් ලෙස පරාජය ලැබූ අතර නාවික හමුදාවට එරෙහිව ලකුණු 37 – 07 ක පහසු ජයග්‍රහණයක් අත් කර ගැනීමට පොලිසිය ට හැකියාව ලැබිණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment