මක්කම ගිය 577ක් අධික උෂ්ණයෙන් මිය යති

210

මෙවර සවුදි අරාබියේ මක්කම නගරයේ හජ්ජි වන්දනාවේ යෙදුණු ඉස්ලාම් භක්තික වන්දනාකරුවන් 577 දෙනකු පමණ අධික උෂ්ණත්වය හේතුවෙන් හටගන්නා රෝගාබාධවලට ගොදුරු වීමෙන් මියගොස් ඇති බව, සවුදි අරාබියේ සිටින තානාපති අංශ පවසයි.

මෙසේ මියගොස් ඇති වන්දනාකරුවන්ගෙන් බහුතරය එනම් 323 දෙනකු ඊජිප්තු ජාතිකයන් බව වාර්තා වේ. ප්‍රංශ පුවත් සේවය වන ඒඑෆ්පී සේවයට අනුව අධික උෂ්ණත්වය හේතුවෙන් හටගත් රෝගාබාධවලට ගොදුරුව ජෝර්දාන් ජාතිකයන් 60 දෙනකු ද මියගොස් තිබේ.

මක්කම නගරයේ පිහිටි විශාලතම මෘත ශරීරාගාරයක් වන අල් මුඅයිසෙම් මෘත ශරීරාගාරය විසින් අධික උෂ්ණත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් 550කට අධික පිරිසකගේ මෘතදේහ තමන් වෙත ලැබී ඇති බව සනාථ කර තිබේ.

තවත් හජ් වන්දනාකරුවන් 2000 දෙනකුට අධික පිරිසකට සවුදි බලධාරීන් අධික උෂ්ණත්වය හේතුවෙන් හටගන්නා තාප ආතතිය (හීට් ස්ට්‍රසේ) රෝග තත්ත්වයට ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව වාර්තා වේ. දේශගුණික විපර්යාසයන් හේතුවෙන් හටගන්නා උෂ්ණත්වය ඉහළ යෑමේ තත්ත්වය හේතුවෙන් දිනයේ අව් රශ්මිය පවතින කාල සීමාවේ දී එළිමහනේ ගැවසෙන විට කුඩයක් භාවිත කරන ලෙසත්, ශරීරය සිසිල්ව තියාගන්නා ලෙසත් හිරු එළියට නිරාවරණය නොවන ලෙසත් ලබා දී තිබූ උපදෙස් පිළිනොපැදීම හේතුවෙන් මෙම තත්ත්වය හට ගෙනා ඇති බව සවුදි අරාබි බලධාරීහු පවසති.

ඉකුත් සඳුදා (17 දා) වන විට හජ් වන්දනාකරුවන් වන්දනාමාන කරන මහම්මත්තුමාගේ උපන් ප්‍රදේශය පිහිටි මක්කම (මෙකා) නගරයේ මහා දේවස්ථානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 51.8 ක් (ෆැරන්හයිට් අංශක 125ක්) දක්වා ඉහළ ගොස් තිබූ බව සවුදි අරාබියේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසයි.

මෙවර හජ්ජි වන්දනාව සඳහා මිලියන 1.8 ක් පමණ දෙනා මක්කම නගරයට පැමිණ ඇති අතර ඉන් මිලියන 1.6 ක් විදෙස්වලින් පැමිණ ඇති බව වාර්තා වෙයි. වෙනත් වසරවල මක්කම හජ්ජි වන්දනාවේ යෙදෙන පිරිසෙන් වැඩිදෙනකු මියයනුයේ අධික තෙරපීමෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment