කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා සහ Alipay ව්‍යාපාර සංවර්ධන කළමණාකරු – දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව මාර්ක් නග්ලිස් මහතා ශ්‍රී ලංකාවේ Alipay QR හඳුන්වා දීමේ වැඩසටහනට සහභාගි වූ අවස්ථාවට බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී එස්. ප්‍රභාගර් මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා, කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී නිශාන්ත ද සිල්වා මහතා සහ කාඩ්පත් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කළමණාකාර සීවලී වික්‍රමසිංහ මහතා සහභාගි වූ අයුරු.

ඒකාබද්ධ ලංකා QR යටතේ Alipay QR කේත ගෙවීමේ ක්‍රමය සක්‍රීය කළ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වෙමින් කොමර්ෂල් බැංකුව දේශීය ව්‍යාපාර සඳහා නව අවස්ථාවන් විවර කර දීමට සමත් වී ඇත.

මෙම ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස බිලියනයකට අධික Alipay e-wallet හිමියන්ට, ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට නිකුත් කර ඇති කොමර්ෂල් බැංකුවේ ලංකාපේ ඒකාබද්ධ QR කේතය ස්කෑන් කිරීම මඟින් ලෝකයේ ඕනෑම ස්ථානයක සිට තම ගනුදෙනු සිදු කිරීමේ හැකියාව උදා වී ඇත.

බැංකුව සිය සමස්ත ජාලයට නව QR යෙදවුම ලබාදීම සම්පූර්ණ කරන විට ව්‍යාපාරිකයින් 50,000කට අධික පිරිසකට Alipay QR ගෙවීම් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව බැංකුව පවසයි. එමෙන් ම POS උපාංග හිමි 28,000 පමණ වූ ව්‍යාපාරික ප්‍රජාවට දැනටමත් බැංකුව ඇමතීමෙන් Alipay QR ගෙවීම් සක්‍රීය කරගැනීමට හැකියාව ඇත.

“මෙම හඳුන්වා දීම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ විශාල ඉදිරිගමනක් වන අතර ඔවුන්ට Alipay හි විභවයන් විවෘත කිරීමට සමත් වූ බැංකුව වීම පිළිබඳව අපි ආඩම්බර වෙමු” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා පැවසීය. එමෙන්ම මෙමඟින් ශ්‍රී ලංකාවට පැමිණෙන දහස් සංඛ්‍යාත සංචාරකයන්ට Alipay e-wallet භාවිතයෙන් තම ගනුදෙනු සිදු කිරීමට හැකියාව ලැබෙන බව ඒ මහතා තව දුරටත් පැවසීය.

ප්‍රමුඛ පෙළේ ඩිජිටල් ගෙවීම් සහ සේවා සපයන වේදිකාවක් ලෙස Alipay ක්‍රියාත්මක වෙයි. Alipay විසින් හවුල්කරුවන්ට සහ චීනයේ මිලියන 80කට අධික ව්‍යාපාරිකයන්ට බිලියනයකට අධික වූ චීන පාරිභෝගිකයන් සමග වෙහෙසකින් තොරව ගනුදෙනු කිරීමට පහසුකම් සලසා දී ඇත.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්‍ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරිත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment