යාන්ඔය වන්දි ඉල්ලා ගොවීහු අනුරපුර වාරිමාර්ගය වට කරති

29

වන්දි නොදී නිලධාරීන් අපිව වටේ යවනවා – ගොවීන්ගෙන් චෝදනා
ඉඩම් ප්‍රතික්ෂේප කරන ගොවීන්ට වන්දි දෙනවා – වාරිමාර්ග අධ්‍යක්‍ෂ

යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් යටවූ සින්නක්කර ඉඩම් සඳහා වන්දි මුදල් වහා ලබාදෙන ලෙසට බල කරමින් ඉඩම් අහිමි වූ එම පිරිස් පෙරේදා (07 දා) අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය ඉදිරිපිටට පැමිණ කාර්යාල නිලධාරීන්ට රාජකාරියට වාර්තා කිරීම සඳහා ඇතුළු වීමට ඉඩ නොදී ගේට්ටුව අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.

වන්දි ලබා ගැනීමට අදාළ ලිපි සකස් කරගෙන හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිය විට කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන ලෙසත්, එසේ ගිය විට යළි එහි නිලධාරීහු යළි හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන ලෙසත් පවසා තමන් වටේ යවන බවත්, ඊට අදාළ නිසි විසඳුම ලබා ගැනීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාල ඉදිරිපිටට මෙලෙස පැමිණි බව උද්ඝෝෂකයෝ පැවසූහ.

අනතුරුව එම ස්ථානයට පැමිණි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති නුවන් වික්‍රමසිංහ මහතා එම පිරිස් සමග සාකච්ඡා කර අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා සමග සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරනු ලැබීය.

යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් යටවූ තම කුඹුරු ඉඩම් සඳහා රජය මගින් ලබාදුන් ඉඩම් වගා කිරීමට නුසුදුසු තත්ත්වයේ පවතින බවත්, මීට පෙර ඉඩම් වලින් වී උර හාර පන්සීයක් අස්වැන්න ලබා ගත්තත්, අලුත් ඉඩම්වලින් වී උර දහයක්වත් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක පවතින බව පෙන්වා දුන් එම පිරිස් ලබාදුන් එම ඉඩම් වෙනුවට වන්දි මුදලක් තමන්ට ලබා දීමට කටයුතු කරන ලෙස මෙහිදී ඉල්ලා සිටියහ.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ දැඩි අපහසුතාවයකින් පෙළෙන තමන් අනුරාධපුරයට පැමිණි මෙම ගමන සඳහාද රථයට රුපියල් 35000ක කුලී මුදලක් ගෙවූ බව ඔවුහු පැවසූහ.

යාන් ඔය ජල ව්‍යාපෘතිය හේතුවෙන් අහිමි වූ කුඹුරු ඉඩම් හිමියන් 600ට වැඩි පිරිසකට එම වන්දි මුදල් ලබා දීමටත්, කුඹුරු ඉඩම් ඉල්ලා සිටි ගොවීන්ට එම කුඹුරු ඉඩම් ලබා දීමටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇති බව මෙහිදී අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂක ජයන්ත ද සිල්වා මහතා පැවසීය.

වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා පැවසුවේ කුඹුරු ඉඩම් ප්‍රතික්ෂේප කරන ගොවීන් සඳහා වන්දි මුදල් ලබා දීමට අවශ්‍ය මැදිහත්වීම කඩිනමින් සිදු කරන බවය. මේ අනුව උද්ඝෝෂණ ක්‍රියා මාර්ගය නතර කල අතර තමන්ට වන්දි මුදල් නොලැබුණහොත් ඉදිරියේදී දැඩි ක්‍රියා මාර්ගවලට එළඹෙන බවට අනතුරු අඟවා පසුව ඔවුහු විසිර ගියහ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment