අරගලය කොතරම් පල්ලම් බැස ඇත්ද යත් එය දැනට සීමාවී ඇත්තේ පුවත්පත් සාකච්ඡාවලට පමණි. අරගලයක් සාර්ථක වීම සඳහා බහුජන සහභාගිත්වයක් තිබිය යුතුය. කිසියම් අරගලයක බහුජන සහභාගිත්වය හීන වන්නේද එතැන් සිට අරගලය දැල්වෙන ඉටිපන්දමක් මෙන් වැගිරෙන්නට පටන් ගෙන ඉටිපන්දම නිවුනාක් මෙන් නිවී දුම්ටික අහසට එක්වෙයි. ගෝඨාභය සහ මහින්ද පළවා හැරීමෙන් පසු ඔරිජිනල් අරගලකරුවන්ගේ අභිප්‍රාය ඉටුවූ අතර ඔවුහු සද්ද වසා ගෙවල්වලට ගොස් තමන්ගේ වැඩකරගෙන ජීවත්වීමට පටන් ගෙන තිබේ. ඔවුන් නැවත නැඟී සිටින්නේ ඊළඟ සමාජ අසාධාරණයේදීය. මේ අතර අරගලයේ නෂ්ටාවශේෂ ලෙස දැකිය හැකි පැල්පත් කිහිපයක් තවමත් ගාලුමුවදොර පැත්තක දැකගත හැකිය. මේවාට රැස්වෙන දෙතුන් දෙනා මළගෙවල්වල නිදි මරන්නාක් මෙන් එළිවනතුරු ඈනුම් අරිමින් සිටිති. මෙය සැබෑ අරගලයේ ස්වරූපමය Quality එකට ඉඳුරාම පටහැනිය. අහිගුන්ඨික ප්‍රජාව ගැන දන්නා විදේශික සමාජ පර්යේෂකයෙක් මේ දිනවල ගාලු මුවදොරට පැමිණියහොත් පෙරකී පැල්පත් දැක ස්ථිර වශයෙන් කල්පනා කරනු ඇත්තේ ඒවා ඉහත කී අහිගුන්ඨික ප්‍රජාවගේ ජනාවාස විය හැකි බවය. අරගලය අලුත් කළ යුතුය යන්න හෝ සමාප්ත කළ යුතුය යන්න මේ පුවත්පත මගින් යෝජනා කරනු නොලැබේ. එහෙත් පෙරකී පැල්පත්වලින් හමා එන හිඟන ප්‍රතිරූපය මගින් ඊළඟ අරගලය ද විනාශයට පත්වන බව අපගේ අදහසය. කෙසේ වුවද අපගේ මූලික අරමුණ වන්නේ අරගලය ගැන සාකච්ඡා කිරීම නොව දැනට රටේ හටගෙන තිබෙන අලුත් තත්ත්වයක් පිළිබඳ සාකච්ඡා කිරීමටය.
ඉකුත් සතියක කාලය තුළ ගාලු මුවදොරට මළමිනී දෙකක් ගොඩගැසුවේය. ඒ අතර වැල්ලවත්තේ මුහුදු වෙරළට තවත් මළමිනියක් පාවී ආවේය. මීට අමතරව කැලණිය සරසවියේ හතරවන වසරේ සිසුවකු කැලණිය වේවැල්දූව පාරේදී අත්අඩංගුවට ගෙන වෑන් රියකට පටවා ගන්නා ලදී. මේ අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් පුද්ගලයන් අටදෙනෙක් සහභාගිවූ බව කියනු ලැබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් වන රජයට අවශ්‍ය තරුණයන් කිහිපදෙනකු ගැන පැහැරගත් සිසුවාගෙන් ප්‍රශ්නකරන ලද බව දැනගන්නට තිබේ. ඉහත සඳහන් සාමාජික පිරිස දැනට සැඟව සිටිති. ඔවුන් එළියට නොඑන්නේ පොලිසියෙන් අම්බානට නෙළනු ඇතැයි යන අපේක්‍ෂාවෙන් විය යුතුය. ජන අරගලයකදී පොලිසියෙන් සහ හමුදාවෙන් සැඟව සිටීම ලැජ්ජාවට කාරණයක් නොවේ. එය විප්ලවීය අවශ්‍යතාවකි. එහෙත් මේ අවස්ථාවේදී කියුබන් විප්ලවය හෝ රුසියන් විප්ලවය හෝ 88/89 විප්ලවය වැනි තත්ත්වයක් ලංකාවේ නැත. එබැවින් සැඟව සිටින තරුණ පිරිස කළ යුත්තේ නීතිඥයන් මාර්ගයෙන් පොලිසිවලට ඉදිරිපත් වීමය. එවිට ගුටි දීමට නොහැකි අතර විටින් විට සැකකරු මුණගැසීම සඳහා බන්ධනාගාරයට යෑමට නීතිඥයන්ට සහ පවුල්වල අයට අවස්ථාව ලැබේ.
ඒ කාරණය පසෙක තිබියේවා! වෑන් එකක් මගින් කිසියම් පිරිසක් පැමිණ මෙවැනි අවස්ථාවකදී විශ්වවිද්‍යාලයක තරුණයකු පැහැරගෙන යෑම රජයට හොඳ නැත. සාමාන්‍යයෙන් පැහැරගැනීම සිදුවන්නේ කළු පාට වෑන් එකකින් වන්න පුළුවන. නැත්නම් කොළ පාට හෝ කහපාට වෑන් එකකින් වන්නට පුළුවන. එහෙත් සාමාන්‍ය මතය අනුව පාට මොක වුණත් ජනමතය සකස් වන්නේ එම වෑන් එක සුදු වෑන් එකක් ලෙසය. පැහැරගැනීම්වලදී සුදු වෑන් යොදාගත යුතු බවට ජාත්‍යන්තර නීතියක් හෝ සම්මතයක් කිසිම රටක නැත. එහෙත් සුදු වෑන් එකකින් පැහැරගත්තා යැයි කී සැණින් සිහියට එන්නේ ආණ්ඩුවේ යුද හමුදාව හෝ පොලිසියය. ඉහත සඳහන් පැහැර ගැනීම හෝ මළමිනී ගොඩගැසීම සහ රජය අතර කිසිදු සම්බන්ධයක් නැති බව අපි විශ්වාස කරමු. රට ඉතාම දුෂ්කර තත්ත්වයකට පත්වී මිනිසුන් මහපාරවල් දිගේ පෝලිම් ගැසී තෙල් සහ ගෑස්වලට ගුටිඇන ගන්නා මෙවැනි කාලයක කොයි ආණ්ඩුවක්වත් ඉහත සඳහන් ආකාරයේ ලෙඩ දා ගන්නේ නැත. සමහර විට ආණ්ඩුවට කෙළවීම සඳහා තුන්වන පාර්ශ්වයක් මෙවැනි දේවල් සිදුකිරීමට ඉඩ තිබේ.
උදාහරණයක් වශයෙන් 88/98 භීෂණ සමයේදී මරාදමන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පමණක් නොවේ. සමුපකාර ඡන්දයට ස්වාධීනව ඡන්දය ඉල්ලූ දේශපාලනය හෝ අවි හරඹ ගැන කිසිත් නොදත්, සමුපකාරයෙන් ගසා කෑම පමණක් එකම අරමුණ කරගත් අපතයන් පවා මෙහිදී මරාදමන ලදී. ඊට අමතරව අල්ලපු ගෙදර තරුණයා හොඳ අධ්‍යාපනයක් තිබෙන ඉදිරි අනාගතයක් ඇති එකෙක්නම් මෙහා ගෙදර එකා ස්වකීය ඉරිසියාව පහකර ගැනීම පිණිස ඒ තරුණයාද ජේවීපී කාරයකු බවට රජයේ මැර හමුදාවලට හෝ පෞද්ගලික මැරහමුදාවලට ඔත්තු දෙන ලදී. එවිට ඒ තරුණයා උස්සා මරා දමන ලදී. 88/89 භීෂණයේදී ජේවීපී තරුණයන්ට අමතරව සෙසු සියලු පක්‍ෂවල සිටි ක්‍රියාකාරිකයන් ද පක්‍ෂ දේශපාලනය ගැන අසාවක් නැති අසරණ තරුණයෝද මරාදමනු ලැබූහ. මේවා ආණ්ඩුවට සම්බන්ධ නැති තෙවන පාර්ශ්වයන්ගේ සාපරාධී කටයුතුය. ඒ නිසා ගෝල්ෆේස් සහ වැල්ලවත්තේ වෙරළවලට ගොඩගැසූ මළසිරුරු පිළිබඳව රජය වහාම පරීක්‍ෂණයක් පවත්වා ඒවාට වගකිවයුතු අය සෙවිය යුතුය. මෙකල ඕනෑම අපරාධයක මුල වහාම සොයාගත හැකිය. එම සොයාගැනීම වැඩිපුරම සොයාගත හැක්කේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවටය. කැලණියේ වේවැල්දූවේදී පැහැරගත් තරුණයා ගැනද සොයා බැලීම රජයේ වගකීමය. එයට හේතුව එදා එසේ පැහැරගෙන ඇත්තේ මේ රටේ පුරවැසියකු වීමය.
මළමිනී සහ පැහැර ගැනීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට යන්නේ වෙනම පුවතකි. ඒ පුවත රටේ අනාගතය සහ ජනතාවගේ අනාගතය කෙළෙසන ඉතාම නරක පුවතක් විය හැකිය. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉතාම අමාරු තත්ත්වයකට පත්ව ඇත. මේ රට ජාත්‍යන්තරය ඉදිරියේදී විවිධ ගොදුරුවලින් ගහන මකුළුදැලක් සේ පෙනුණොත් එය රටට අවාසියකි. ඒ නිසා මේ සිදුවීම් ගැන සොයන ලෙස අපි නැවත නැවතත් රජයෙන් ඉල්ලමු.