පුංචි තිරයේත් රිදී තිරයේත් විවිධ චරිතවලට පණ පොවන, මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන “හිච්චි” ටෙලි නාට්‍යයේ “මෙවන්” ලෙසිනුත්, “මොනරා” නාළිකාවේ විකාශය වන “පරපුරු පෙම” ටෙලි නාට්‍යයේ “ගිහාන්” ලෙසිනුත් ඔබ හමුවට එන කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, කඩවසම් රංගන ශිල්පී මිලින්ද මඩුගල්ල සමගයි අද මේ කතාබහ ඇරඹෙන්නේ.

මේ දවස්වල ඔබ රංගනයෙන් දායක වුණ රංගන කටයුතු මොනවාද?

මේ දවස්වල මොනරා නාළිකාවේ විකාශය වන මිහිර සිරිතිලකගේ “පරපුරුපෙම” ටෙලි නාට්‍යයේත් හිරු නාළිකාවේ විකාශය වන තරංග දිසානායකගේ “හිච්චි” ටෙලි නාට්‍යයේත් රංගනයේ යෙදෙනවා. ඊට අමතරව තව මම රංගනයෙන් දායක වුණ චිත්‍රපට හතරකුත් ටෙලි නාට්‍ය කීපයකුත් එන්න තියෙනවා.

මගෙත් එක්ක රගපාන ගොඩක් නිළියෝ බිරිඳගේ යාළුවෝ - milinda madugalle

“හිච්චි” ටෙලි නාට්‍යයේ ඔබේ භූමිකාව ගැන කතා කළොත්?

මම “මෙවන්” කියන චරිතයට තමයි පණ පොවන්නේ. මෙවන් කියන්නේ, ගමේ මන්ත්‍රීතුමාගේ පුතා. එතැන තව ලොකු කතා ටිකක් තියෙනවා. “හිච්චි” නැරඹුවොත් ඔබට වැටහේවි මෙවන් කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා.

“මෙවන්”ට මඟතොටදී ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

හොඳයි. ටෙලි නාට්‍ය විකාශය වෙන්නේ හවසටනේ. ඉතින් මිනිස්සු ගොඩක් නාට්‍ය නරඹනවා. ඉතින් මට මුණගැහෙන අය කියන්නේ හොඳට වැඩේ කරනවා, ලස්සනයි, මරු කියලා. සමහරු කියනවා අපෝ අමුතුම චරිත තමයි කරන්නේ කියලා. එතකොටත් ඉතින් මට අමුතු කික් එකක් දැනෙනවා, ආ එහෙනම් ඒකත් හොඳයි නේද කියලා.

මගෙත් එක්ක රගපාන ගොඩක් නිළියෝ බිරිඳගේ යාළුවෝ - milinda madugalle

රැකියාවෙන් ඉවත්වෙලා නළුවෙක් වෙන්න ගත්ත තීරණය ගැන මොකද හිතන්නේ?

ඇත්තටම හොඳයි. මොකද දෙකම එකපාර කරගෙන යන්න හරි අමාරුයි. මම අවුරුදු 13ක් රැකියාව කළා. දැන් අවුරුදු 15ක් විතර වෙනවා රඟපාන්නත් අරගෙන. රස්සාවේ වැඩ වැඩි වෙන්න ගත්තම චරිත ගොඩක් භාරගත්තෙත් නැහැ. ඉතින් මම හිතුවා එන වැඩ භාර අරගෙන, රංගන ක්ෂේත්‍රයේම රැඳෙනවා කියලා හිතලා තමයි රැකියාවෙන් ඉවත් වුණේ.

ඒ කියන්නේ මිලින්ද වෘත්තීයමය රංගන ශිල්පියෙක්?

ඔව්. දැන් පූර්ණකාලීනවම රංගන ශිල්පියෙක්.

මේ පූර්ණකාලීන රංගන ශිල්පියාට ලැබෙන වටිනාකම ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

ඔව් පුළුවන්. එහෙම අවුලක් නැහැ. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ, මේ ලංකාවේ තියෙන උද්ධමනයත් එක්ක අපට කොහොමත් ජීවත් වෙන්න ටිකක් අමාරු කාලයක්. ඊට අමතරව වෙන නම් ප්‍රශ්නයක් නැහැ. මම රැකියාව කළත් මේ ප්‍රශ්න ටික මට මෙහෙමම තියෙනවා ඒකේ වෙනසක් නැහැ.

ඔබේ පෙනුමත් එක්ක නපුරු චරිතම ද වැඩිපුර ලැබෙන්නේ?

ඔව්. චිත්‍රපටවල නම් ගොඩක්ම ලැබෙන්නේ නපුරු චරිත. හැබැයි ඒ වගේ රඟපාන ලොකු රේන්ජ් එකකුත් තියෙන නිසා මම ඒ චරිතවලට කැමැතියි. හැබැයි ටෙලි නාට්‍යවල නම් විවිධ චරිත ලැබෙනවා.

මිලින්ද සැබෑ ජීවිතයෙත් නපුරු චරිතයක්ද?

අපෝ නැහැ. මම යාළුවොත් එක්ක වගේම හැමෝමත් එක්ක විනෝදකාමීව, මිත්‍රශීලීව ඉන්න චරිතයක්.

ගෙදරින් මොන වගේ සහයෝගයක්ද ඔබට ලැබෙන්නේ?

ඇත්තටම ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. වයිෆ් තමයි ගොඩක්ම වෙලාවට මට සහාය වෙන්නේ. හැමදේම මම කතා කරන්නේ එයා එක්ක. අඩුපාඩු තියෙන ඒවත් පෙන්නලා දීලා තව කරන්න තියෙන වැඩ ගැනත් හොයලා බලන්නෙ එයා තමයි.

බිරිඳ සීමා මායිම් එහෙමත් දානවද?

නැහැ. එහෙම නැහැ. මගෙත් එක්ක රඟපාන ගොඩක් නිළියෝ එයාගෙත් යාළුවෝ. එයත් ඔක්කොම අඳුරනවා. ඒ නිසා එයාගෙන් කිසිම ගැටලුවක් නැහැ.

ආපස්සට හැරිලා බලනකොට ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක මගේ මහන්සියේ ප්‍රතිඵල තියෙනවා කියලා හිතෙනවා. තව ගොඩක් වැඩ මට කරන්නත් තියෙනවා. ඉගෙන ගන්නත් ගොඩක් දේවල් තියෙනවා. ඒවත් කර ගන්න ඕනෑ. නමුත් මම මහන්සි වුණ තරමටම ප්‍රතිඵලත් අද තියෙනවා. ඒ නිසා මේ ආපු ගමන ගැන ගොඩක් සතුටුයි.

පොඩි කාලේ ඉඳලා දැකපු හීනයක්ද අද මේ සැබෑ වෙලා තියෙන්නේ?

ඇත්තටම ඕව්. මම ගොඩක් කැමැත්තෙන් හිටියේ නළුවෙක් වෙන්න. ඉස්කෝලෙ යන කාලේ ඉඳලම ඒ හීනේ දැක්කා. අද මම ඒ හීනේ සැබෑ කරගෙන තියෙනවා. මම අද ඒ හීනේ හැබෑ කරගෙන ඉන්නවා දැකලා මගේ පාසල් කාලයේ මිතුරන් පවා ගොඩක් සතුටු වෙනවා.

මිලින්දගේ ජීවිතේ ඉදිරි සැලසුම් මොනවද?

තවත් හොඳ හොඳ නිර්මාණ කටයුතුවලට රංගනයෙන් දායක වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් ඒවටත් දායක වෙමින්, මේ ආවා වගේම හොඳ ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment