ජාතියක් ගොඩනගන්නට මැයි 27 පෙරට තැබූ පියවර… මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට 51 වසරක් පිරීම

1175

ශාස්ත‍්‍රපති, රාජකීය පණ්ඩිත ඊතල්වැටුණුවැවේ
 ඤාණතිලක නාහිමි
 මිරිසවැටිය විහාරාධිකාරී සහ ශී‍්‍ර ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති,
 
 
 * ඉතිහාසයේ පාඩම
 
වර්තමාන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට රජරට පිංබිම ජයභූමියකි. ඔහු අපට සුවිශේෂි වන්නේ ඒ නිසාය. ඔහුගේ පළමු දේශපාලන ව්‍යාපාරය මෙන්ම අද දක්වා වැදගත් සෑම දේශපාලන ව්‍යාපාරයක්ම අරඹන්නේ අනුරාධපුරයෙනි. ත‍්‍රස්තවාදීන්ට යුද්ධය හැරදා සාමයට එන ලෙස එතුමා කළ ඇරයුම් මායිම් නොකර රට ලේ විලක් කළ ත‍්‍රස්තවාදීන්ගෙන් රටවැසියා බේරාගන්නා බවට 2006 එතුමා අධිෂ්ඨාන කරගනු ලැබුවේ කැබිතිගොල්ලෑවේදී ය. මහබෝ සමිඳුන්ගේ, රන්වැලිසෑයේ, මිරිසවැටි ජයකොන්තයේ තේජානුබලය ගැන විශ්වාසය තැබූ එතුමාට පෙර රජ දරුවන්ට සේම මහ සඟරුවනත් ජනීජනයාත් ඒ ආශිර්වාදය උදා කරදෙන්නට බලමුළු තැනූහ. එතුමා යුද, නාවික, ගුවන් යන ති‍්‍රවිධ හමුදාවන්ට අමතරව පොලිස් සහ සිවිල් ආරක්ෂක යන සේනා සහිත පංචවිධ සේනාවක් බලගන්වා සටන් වැදුනේය. පළමු දෙවන තෙවන සෑම වරම මහින්ද බලයට එන්නෙ මහ සඟරුවන පෙරටුකරගෙන ය. අතීතයේ ද එසේ සිටි දුටුගැමුණු රජුට රට එක්සත් කරන්නට වසර තුනහමාරක් ගතවූවා සේම මහින්ද රාජපක්ෂ මහතාටත් වසර තුනහමාරකින් රට එක්සේසත් කර සාමය උදාකරන්නට හැකිවිය. දුටුගැමුණු රජු සාමයේ සංකේතය ලෙස මිරිසවැටිය දාගැබ තැනුවේ ය. මහින්ද ජනපති සාමයේ සංකේතය ලෙස ඒ අසලම සඳහිරුසෑය තැනුවේ ය. දුටුගැමුණු රජුගෙන් පසු සිය සොයුරා සද්ධාතිස්ස බලයට පැමිණියේය. මහින්ද යුගයෙන් පසු එවන්ම යුගපුරුෂයෙක් ලෙස ගෝඨාභය මහතා බලයට ආවේ ය. ඉතිහාසය සමපාත වන්නේ මෙතැනට ය.
 
 * ගමේකම
 
 දකුණේ ගොවි ජනතාව සමග අඛණ්ඩව සබඳතා පැවැත්වූ ඔහු කුඹුරට හා ගොවි ජනතාවගේ කෘෂිකාර්මික ජීවන ක‍්‍රමයට අමුත්තෙකු නොවීය. ඒ අතරතුර වාමාංශික ව්‍යාපාරය තුළ වාමාංශික හා රැඩිකල් විරෝධතා හා උද්ඝෝෂණ ව්‍යාපාර බොහොමයකට ද මහින්ද තරුණයා දායක වූයේ ය. පාසල් අධ්‍යාපනයෙන් පසු නීති විද්‍යාලයට ප‍්‍රවේශ වූ මහින්ද නීති ශිෂ්‍යයා වැඩි උනන්දුවක් දැක්වූයේ මානව හිමිකම් නීති ක්ෂේත‍්‍රයට ය.
 
 * ශ‍්‍රී.ල.නි.ප. නියෝජනය
 
 1970 දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් බෙලිඅත්ත ආසනයෙන් පාර්ලිමේන්තුවට මහින්ද රාජපක්ෂ ප‍්‍රථම වරට තේරී පත් වන්නේ 1970 මැයි 27 දා ය. ඒ වන විට මහින්ද රාජපක්ෂ අවුරුදු 24 ක තරුණයෙකි. එවකට පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත‍්‍රීවරයා ද ඔහු විය. හෙතෙම 1977 නොවැම්බර් නීතිඥයකු ලෙස දිවුරුම් දුන්නේය.
 
 * භීෂණයට එරෙහිව වීරත්වය
 
 1988 – 90 කාලය මෙරට වෙලාගත් අඳුරු භීෂණයට එරෙහිව නොබියව ජනතාව සමග සිටි නායකයා වූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. භීෂණයෙන් අතුරුදන් වූවන් වෙනුවෙන් ඇරඹි මවුවරුන්ගේ පෙරමුණට ඔහු නායකත්වය දුන්නේ එවක පැවැති ආණ්ඩුවේ භීෂණයට නොබියවය. දකුණේ භීෂණයට එරෙහිව ඔහු ප‍්‍රබල හඬක් නැඟුවේය. 90 දශකයේ මුල් භාගය තුළ මහින්ද රාජපක්ෂ දකුණේ භීෂණයට එරෙහිව පීඩිතව සිටි ජනතාව සමඟ පාද යාත‍්‍රා මිනිස් දම්වැල් සමඟින් ගොඩ නැඟූ ජනතා බලවේගය 1994 පොදු පෙරමුණ බලයට පත්වීමට ප‍්‍රබලම සවිය විය.
 
 * අමාත්‍ය ධුර
 
 පොදු පෙරමුණ රජයේ කම්කරු, වෘත්තීය පුහුණු හා ධීවර අමාත්‍යාංශ හරහා තවත් පුළුල් ජනතා මෙහෙවරක් ඉටුකිරීමට මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා කටයුතු කළේය. අද ඇති බොහෝ ධීවර ගම්මාන අභිමානවත් ගම්මාන බවට පත් කළේ එතුමාය.
 
 2002 වසරේ මාර්තු මාසයේ විපක්ෂ නායකයා ලෙස පත්වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා එම කාල වකවානුව තුළ කැපී පෙනෙන ජනතා මෙහෙවරක් ඉටුකළේය. ජනතාවට පරාදීන සිතුවිලිවලින් මිදී තමන්ගේ පාලකයෙක් පත්කර ගන්නවා යන අභිමානය ඇතිවුණේ එදා සිටය.
 
 * අග‍්‍රාමාත්‍ය ලෙස
 
 එතුමාගේ ජනතාහිතවාදී දේශපාලනයටත් අපේකමට වූ සුවිශේෂී බැඳීමක් නිසා සියලූ දේශපේ‍්‍රමී බලවේග එක්ව එතුමාව 2004 අපේ‍්‍රල් 06 දා ආග‍්‍රාමාත්‍ය ධුරයට ඔසවා තැබීය. 2005 ජනාධිපතිවරණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා මැතිවරණයෙන් ජයගෙන 2005 නොවැම්බර් 19 දා පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. එතුමාගේ පාලන පිළිවෙත ලෙස දේශීයත්වය රැක ගනිමින් අපේකමට මුල්තැන දෙමින් රට සංවර්ධනය කරා ගෙනයෑම මහින්ද චින්තනයෙන් ප‍්‍රකට විය. 1978 හඳුන්වා දුන් විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති මත විනාශ මුඛයට ඇද දැමුණු දේශීය චින්තනයට සහ සංස්කෘතියට යළි පණ පෙවීමට අඩිතාලම වූයේ එතුමාය.
 
 * අභියෝග
 
 2005 බලයට පත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ අභියෝග 2 ක් විය. පළමු වැන්න කුරිරු ත‍්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමයි. දෙවැන්න දශක තුනක් ආපස්සට ගිය රට ගොඩනැ`ගීමයි. ත‍්‍රස්තවාදයට එරෙහි සංග‍්‍රාමය වසර තුනක් වැනි කෙටි කලකින් ජයගත් මහින්ද රාජපක්ෂ මහතා රට ගොඩනැඟීමේ සංවර්ධන සංග‍්‍රාමය සාර්ථකව දියත් කළේය.
 
 * මානුෂික මෙහෙයුම
 
 ත‍්‍රස්තවාදීන් කැබතිගොල්ලෑව බස් බෝම්බය පුපුරවා ජීවිත හැට හතරක් ගිළගෙන යළි සටනට අවතීර්ණ වී මාවිල්ආරු සොරොව්ව වසා නැෙඟනහිර ගොවීන් අසරණ කළ අවස්ථාව ආදී තීරණාත්මක තැන්වලදී මහින්ද පාලකයෙකු ලෙස ගතයුතු සෘජු තීන්දු ගත්තේය. සාමය මුවාවෙන් ආ ත‍්‍රස්තවාදී හිතකාමි විදේශ නියෝජිතයන්ට නොරැවටුණේය. ඊනියා සාම ගවිසුම්වලින් ත‍්‍රස්තවාදීන් ජාත්‍යන්තරය හමුවේ මෙරට පාලකයින් දණ ගස්වා වෙනම රාජ්‍යයකට අවශ්‍ය පිඹුරුපත් සකසාගෙන අවසන්ව පැවැතියත් මහින්ද ජනපති ඒ සාමගිවිසුම් ඔවුන්ටම හකුලාගන්නට වැඩ කළේය.හේ සටන් බිමට ගියේය. රණවිරුවරුන්ට පියෙකු සේ, මිතුරෙකු සේ සමීපව දිරිමත් කළේය.සිංහල ජනයාගේ මෙන්ම දෙමළ, මුස්ලිම් සියලූ ජනවර්ගයාගේ පීඩනය, දුක, කඳුළ හදවතට දැනුණු එතුමා ලොව විශාලතම මානුෂික මෙහෙයුමට නායකත්වය දී තුන් ලක්ෂයකට අධික පිරිසක් ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් මුදා ගත්තේය. ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබා දුන්නේය. මුදාගත් පිරිස් ඉතා කෙටි කාලයකින් සියලූ පහසුකම් සහිත සිය ගම්බිම්වල පදිංචි කෙරිණි. ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් වල යෙදුණු 15,000 කට ආසන්න පිරිසක් පුනරුත්ථාපනය කර යළි සමාජගත කෙරිණි. එය ලොව අන් කිසිදු රටක සිදු නොවූවකි. උතුරේ දරුවන් තුවක්කුව, බෝම්බය වෙනුවට පෑන, පොත පත යළි අතට ගත් යුගය උදා කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාය. අද දේශපාලන බලය ලබාගත් උතුරෙත් දකුණෙත් සියලූ නායකයින් මහින්ද රාජපක්ෂ මහතාට පිං දිය යුතුය.
 
 ත‍්‍රස්තවාදය පරාජය කර නැවත වරක් රට එක්සේසත් කිරීමට ගත් තීන්දුව අනුමත කරමින් 2010 පැවැති ජනාධිපතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයාට වඩා වැඩි ඡුන්ද 1,842,749 ක් මහින්ද රාජපක්ෂට ජනතාව ලබා දුන්හ. ත‍්‍රස්තවාදය පිටු දැකි ජනතා හිතවාදී ප‍්‍රගතිශීලී සියලූ බලවේග මහින්ද රාජපක්ෂ වටා රොක් විය.
 
 * සංවර්ධන සංග‍්‍රාමය
 
 දියුණු මංමාවත්, අධිවේගී මාර්ග, වරායන්, ගුවන් තොටුපොළවල් ඇතුළු ශීඝ‍්‍ර සංවර්ධනයකට අවශ්‍ය සියලූ යටිතල පහසුකම් ජාතියට තිළිණ කරන අතරතුර අපේකම රැකදෙන කෘෂිකර්මාන්තය පසුගිය වසර කිහිපය තුළ හිනිපෙත්තට ගියේය. සහලින් ස්වයංපෝෂිත වී සහල් අපනයනයටත් හැකි ස්වර්ණමය යුගයකට එළඹියේය. කලක් වස පානය කර මියගිය ගොවියා අද හොඳ පන්නරයක් ලබා ඇත. කුඹුරු ගොඩකර දේශීයත්වය විනාශ කිරීමට ඇතමුන් කටයුතු කරද්දී ගොවිතැන රැකදීමට පුරන් කුඹුරු අස්වැද්දීම, වැනි දැවැන්ත ව්‍යාපෘති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඇරඹුවේ විනාශ මුඛයට ගිය අපේ ස්වයංපෝෂිත ආර්ථික රටාව යළි නැංවීමටය.
 
 * දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති
 
 නිදහසින් පසු නව වරායක් සහ ගුවන් තොටුපළක් අප රටේ ඉදිවන්නේ මේ යුගයේදීය. මත්තල ගුවන් තොටුපළත්, හම්බන්තොට වරායත් සංවර්ධනයේ නව කේන්ද්‍රස්ථානයන්ය. ආර්ථික දර්ශකයේ පැහැදිලි වෙනසක් අපේක්‍ෂා කරන දකුණු ප‍්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය, නොරොච්චෝලේ තාප බලාගාරය, ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය, කෙරවළපිටිය ගල්අඟුරු බලාගාරය, හම්බන්තොට සූර්ය විදුලි බලාගාරය, උමා ඔය ජලවිදුලි හා වාරි ව්‍යාපෘතිය, සාම්පූර් ගල් අඟුරු බලාගාරය, මහ දඹුල්ල සංවර්ධනය, උතුරු මාර්ග සංවර්ධනය, යාපනය ජල සම්පාදන ව්‍යාපෘතිය, මහ කොළඹ ජලාපවහන පද්ධතිය ප‍්‍රතිසංස්කරණය, දක්‍ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය, ගුවන් පාලම්, උතුරු දුම්රිය සේවය යළි ප‍්‍රතිසංස්කරණය කිරීම, ඞීසල් බලවේග කට්ටල 13 ක් අලූතින් එක් කිරීම, නැගෙනහිර දුම්රිය මාර්ගය ප‍්‍රතිසංස්කරණය කිරීම, කොළඹ වරාය පුළුල් කිරීම, ගාලූ හා ඔලූවිල් වරාය සංවර්ධනය යන මේවා පසුගිය කාලයේ කි‍්‍රයාත්මක වූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් ය.
 
 මේ අතර දියත් කෙරුණු බහුවිධ සංවර්ධන වැඩසටහන් රැසකි. මඟ නැගුම, ගම නැගුම, දිවි නැගුම, ජාතික සවිය, ගැමි දිරිය, සුනාමි නිවාස, කිරි ගම්මාන, දියවර ගම්මාන, උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, රජරට නවෝදය, සෙංකඩගල නවෝදය, දැයට කිරුළ හා ගැමි පුබුදුව ඉන් සමහරකි.
 
 අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ඇති වූයේ ද සුවිශේෂී පිබිදීමකි. ප‍්‍රාථමික පාසල් 5,000 ක් පෝෂණය කිරීම, ද්විතීක පාසල් 1,000 ක් රට පුරා ඇති කිරීම, පාසල් තුළ මහින්දෝදය පාසල් ගොඩනැගිලි 1000 ක් ඉදිකිරීම, විෂය මාලා සංවර්ධනය, තාක්ෂණ විද්‍යාල සංවර්ධනය හා විශ්වවිද්‍යාල විද්‍යායතන ඇතිකිරීම ආදිය අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය තුළ කැපී පෙනෙන වර්ධනයක් ඇති කිරීමට සමත් විය.
 
 එලෙස යුද්ධයෙන් විනාශ වූ රට යළි ගොඩනගමින් එතුමා ගෙන ගිය වැඩපිළිවෙළ 2015 දී ආපස්සට හැරෙමින් විරුද්ධවාදීන් බලවත්ව බලය අහිමි වුවත් එතුමා සැලූනේ නැත. ජනතාව එතුමාගේ නිවසට ලක්ෂ ගණනින් පිරී යළි බලයට එන ලෙස ආරාධනා කළහ. වරාජිත රටවැසියා තනි නොකර ජනතාව වෙනුවෙන් තම වගකීම එදා ද භාරගත් එතුමාට පාර්ලිමේන්තුවේ පසු පෙළ ආසනයක අසුන්ගන්නට තරම් තිබූ ආත්ම ශක්තිය මෙරට ඉතිහාසයේ තිබුණා නම් තිබුණේ ගාමිණි අභය වැනි පුරාණ රජදරුවන්ට පමණි. ඒ දූරදර්ශී තීන්දු නිසා වර්තමානයේ අග‍්‍රමාත්‍ය ධුරය හොබවමින් අමාත්‍ය මණ්ඩලයටත් රටටත් නායකත්වය දෙමින් සිය සොයුරාගේ පාලනයට මඟපෙන්නන්නට, ශක්තිය දෙන්නට එතුමාට හැකිව තිබේ. යළි ජාත්‍යන්තරයේ හිස ඔසවන ත‍්‍රස්තවාදයට මුහුණදී රටට එරෙහි බලවේග මැඩපවත්වන්නට කාලය උදාකරගත හැකි විය.
 
 * බෞද්ධාගමික ප‍්‍රබෝධය
 
 ජනතාවටත් මහා සංඝරත්නයටත් නිරතුරුව කන්දෙමින් වෙසෙසින් මහා සංඝරත්නයේ ඕනෑ එපාකම් නිරන්තරයෙන් සොයා බලමින් වෙහෙර විහාර දාගැබ් ඉදිකරමින් පූජා භූමි සංවර්ධනය කරමින් ගතවූ කාලය පුරාම බුද්ධ ශාසනයේ චිරස්තිථිය පිණිස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළේය.
 
 * ශී‍්‍ර ලාංකේය අභිමානය
 
 අපේකම ජාත්‍යන්තරයට ගෙන ගිය එකම නායකයා ද මහින්ද රාජපක්‍ෂ විය. විදේශ අභියෝග හමුවේ නොසැලී ඍජුව විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙය වූ එකම නායකයා ද මහින්ද රාජපක්‍ෂයන්ය. ම්ලේච්ඡු ත‍්‍රස්තවාදයෙන් රට මුදා ගනිමින් රට එක්සේසත් කළ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අපගේ ප්‍රෞඪ ඉතිහාසයට අභිමානයක් එක් කළේය. ජාත්‍යන්තර බලවතුන් ඉදිරියේ දණින් නොවැටුණු එතුමා ශී‍්‍ර ලාංකීය අභිමානය ලොව හමුවේ ප‍්‍රකට කළේම පෞරුෂයත්, තේජසත්, ශ්‍රේෂ්ඨ නායකයකුගේ උතුම් ගුණාංගත් ඉස්මතු කරමිනි.
 
 අද දේශපාලන ජීවිතයේ 51 වන වසර සමරන මේ මහා නායකයාණන්ට අප රට මුහුණ දී සිටින සියලූ අභියෝග නිමාකර සංවර්ධනයෙන් ඉහළට ඔසවා තැබීමට ති‍්‍රවිධ රත්නයේ ආශිර්වාදය ප‍්‍රාර්ථනය කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment