මගේ අරමුණ ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගැනීමයි – පාර්ශ්වයකට සහාය දීම නොවෙයි

394

තමන් කිසිදු පාර්ශ්වයකට සහාය නොදක්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගැනීම වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

පැලැස්තර විසඳුම් නොමැතිව ක්‍රීඩා නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බවත් ක්‍රිකට් අර්බුදය විසඳීමට නම් චිත්‍රසිරි වාර්තාව නිවැරැදිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඊයේ (09 දා) හමුවෙමිනි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ අවධානයෙන් සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ජාත්‍යන්තරයෙන් කිසිදු බලපෑමක් නොවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ක්‍රිකට් වැඩපිළිවෙළ පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය කාලෝචිත බව කී ජනාධිපතිවරයා පෙර දිනයේදී පාර්ලිමේන්තුව තුළ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ සිදු කරන ලද සමහර ප්‍රකාශ ජනතාව අනුමත නොකර බවද කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.

මම ඇමැතිතුමාට නම් යෝජනා කළේ මේ පිළිබඳ අධිකරණයට ගෙන ගියහොත් එය නවත්වන්න පුළුවන් වන නිසයි. ඒ වගේම අප මෙය කැබිනට් මණ්ඩලයේත් සාකච්ඡා කළා. කොහොම වුවත් මේ සම්බන්ධයෙන් දැන් අධිකරණයට ගිහින් තිබෙන්නේ.

ක්‍රිකට් සඳහා වඩාත්ම සුදුසු වන චිත්‍රසිරි වාර්තාව ක්‍රියාත්මක කළ යුතුයි. මේ සඳහා අතුරු කමිටු පත් කිරීම ප්‍රමාණවත් නොවන බව මට පේනවා. මේවා සියල්ල තාවකාලික විසඳුම්. සම්පූර්ණ නීති වෙනස් කිරීම ඊට වඩා සුදුසු වෙනවා.

ක්‍රිකට් ආරම්භ කළේ ජේ. ආර් ජයවර්ධන සහ ගාමිණි දිසානායක යන මහත්වරුන්. පාසල් ක්‍රිකට් සංවර්ධනය කිරීමේ වගකීම ඒ කාලයේ මට භාර දුන්නා. එමගින් තමයි අපේ පළමු කණ්ඩායම ඉදිරියට ආවේ.

ඉන් අනතුරුවයි 1996 කණ්ඩායම බිහිවෙලා ලෝක කුසලානය ජයග්‍රහණය කළේ. ඒ නිසා අප නැවත ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කළ යුතුයි. මම කිසිදු පාර්ශ්වයක් නියෝජනය කරන්නේ නැහැ. මට තියෙන්නේ එක පාර්ශ්වයයි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් පාර්ශ්වය පමණයි. එය දියුණු කරන්න බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. මගේ එකම බය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ ගැන ඊයේ කතා කර තිබුණා. එයින් බලපෑමක් නොවන්න අපි කටයුතු කරමු. අද ඉදිරිපත් කර ඇති මේ යෝජනාව සම්මත කර ගනිමු.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment