මණිමේඛලා නමැති තමිල් කාව්‍යය ද්‍රවිඩ සාහිත්‍යයෙහි එන පංචමහා කාව්‍යයන්ගෙන් තෙවැන්නය. ජීවක චින්තාමණී, සිලප්පදිකාරම්, මණිමේඛලා, වලෛයාපති, කුණ්ඩලකේශි යන මේ පංච මහා කාව්‍යයන් අතුරෙන් මණිමේඛලාව තෙවැනි කාව්‍යය වශයෙන් සලකන ලදී. එහෙත් රචිත කාලය අනුව ගණන් ගත හොත් සිලප්පදිකාරම් කාව්‍යය ප්‍රථම කාව්‍යය වශයෙනුත් මණිමේඛලාව ද්විතීය කාව්‍යය වශයෙනුත් සැලකිය හැකිය. ‘සිලප්පදිකාරම්’ කාව්‍යය රචිත ඉලංගෝ අඩිහල්තුමාත් ‘මණිමේඛලා’ කාව්‍යය රචිත සීත්තලෛච්චාත්තනාර් කවියාත් සමකාලීනයන් බැවිනි. එවිට ජීවක චින්තාමණි කාව්‍යය ගැනෙනුයේ තුන්වැනි කාව්‍යය වශයෙනි.
මේ පංචමහා කාව්‍යයන් අතුරෙන් වලෛයාපති, කුණ්ඩලකේශි, කාව්‍යද්වයම කාලය නමැති ‘වේයා’ විසින් විනාශකර දමන ලදී. එහෙයින් ඒ ග්‍රන්ථද්වය පිළිබඳ විස්තර දැක්වීම උගහටය. ප්‍රධාන වශයෙන් ‘සිලප්පදිකාරම්’ කාව්‍යය හැරෙන්නට ඉතිරි මහා කාව්‍ය සතර බෞද්ධ හා ජෛන ආගම්වලට අයත් කතාවන් කතා ශරීර වශයෙන් ගෙන ඇත්තේය. ‘සිලප්පදිකාරම්’ කාව්‍යයෙහි ශෛව, වෛෂ්ණව යන සමයයන් පිළිබඳව විස්තර ද, සුබ්‍රමණිය දේව වන්දනා ක්‍රමද, බෞද්ධ – ජෛන ආගම් සම්බන්ධ විස්තර ද ඇතුළත්ය. එහෙයින් ‘සිලප්පදිකාරම්’ කාව්‍යය සෑම ප්‍රසිද්ධ දර්ශනයකටම අයත් යැයි කීම වැරදි නොවේ.
මණිමේඛලා :- කෝවලන්ටත්, මාධවියටත් දාව උපන් ඔවුන්ගේ දුවණිය වූ මණිමේඛලාවගේ චරිතය වර්ණනා මුඛයෙන් බෞද්ධ දර්ශනය විස්තර කොට ඇත්තේය.
ජීවක චින්තාමණි :- ජීවකයාගේ චරිත වර්ණනා මුඛයෙන් ජෛන දර්ශනය විස්තර කොට ඇත්තේය.
මණිමේඛලා කර්තෘ :- බෞද්ධ ධර්මය ආරක්ෂාකර ගනු පිණිස තත් කාලීන රජවරුන්ගේ ආධාරය හා ආරක්ෂාව ඇතිව රහත් මහ තෙරුන්වහන්සේලා විසින් ඒ ඒ කාලයන්හි ධර්ම සංගායනාත්‍රයයක් පවත්වන ලද බව බෞද්ධ ඉතිහාසයෙහි සඳහන් වේ. එපරිද්දෙන් ද්‍රවිඩ භාෂා වර්ධනය පිණිස චේර, චෝල, පාණ්ඩ යන රජවරුන්ගේ ආරක්ෂාව හා උපකාරය ඇතිව තත් කාලීන ද්‍රවිඩ පණ්ඩිතයන් විසින් ඒ ඒ තන්හි සාහිත්‍ය සංගම් තුනක් පවත්වන ලදී. මේ සංගම් තුන පිළිවෙළින් ප්‍රථම සංගමය, මධ්‍යතන සංගමය, අන්තිම සංගමයයි කියනු ලැබේ. මේ සංගමත්‍රයට සහභාගිවූ කවීන්ට ‘සංග කවියෝ’ යනුද, එයින් රචිත ග්‍රන්ථයන්ට ‘සංගග්‍රන්ථයෝ’ යයි ද කියනු ලැබෙත්.
මණිමේඛලා කර්තෘ තුමා ‘කුලවාණිගන් වාත්තනාර්’ ‘සීත්තලෛච්චාත්තනාර්’ යන නම් වලින් ද්‍රවිඩ සාහිත්‍යයෙහි සඳහන් වන්නේය. මොහු පළමුව ධාන්‍ය වෙළෙන්දෙක්ව සිටි හෙයින් මෙනම් වී යයිද, මදුරාවෙහි ජීවත්වූ ධාන්‍ය වාණිජයෙකුගේ පුතෙකු වූ බැවින් මෙනම් වී යයිද සමහරු කියති. සීත්තලෛච් චාත්තනාර් යන නම ලැබීමට හේතුව මෙසේය:- සංග කාලයන්හි රචිත ග්‍රන්ථයන් බොහෝ ආසාවෙන් මොහු කියවා පරීක්ෂා කෙළේය. එකල්හි ඒ ග්‍රන්ථයන්හි මොහු විසින් දක්නා ලද දෝෂයන් බහුල විය. ඒ දෝෂයන් දකින වරක් පාසා දුකින් පීඩිතවූ මොහු තමාගේ පන්හිඳෙන් නළල් තලයට ඇන ගත්තේය.
කොපමණ චිත්තාවේගයකින් මොහු මේ ක්‍රියාව කර ගත්තේ දැයි යතහොත් ටික දිනකින් මොහුගේ නළල පැසවා සැරව ගලන්නට විය. එහෙයින් මොහුට සීත්තලෛව් වාත්තනාර් යන නම ආරෝපිත විය. (සී – සැරව, තලෛ – ඔළුව, සීත්තලෛ – සැරව ගලන ඔළුවක් හෝ නළලක් ඇත්තා.)
මොහුගේ වෘත්තිය කුමක් හෝ වේවා, මොහුගේ චරිතය කෙබන්දක් හෝ වේවා, මොහු තර්ක න්‍යායයෙහි දක්ෂ අධ්‍යාත්ම (අභිධර්ම) විද්‍යාවෙහි නිපුණයෙකු බව නම් පැහැදිලිය. මණිමේඛලාව කියවන පාඨකයන්ට එය අවබෝධ වෙනවා ඇත. චාත්තනාර් මදුරා නගර වැසියෙක්වූ බවත්, සංග කවියෙකු වශයෙන් ක්‍රියා කරන්නට පෙර ධාන්‍ය වාණිජයෙකු වූ බවත්, නිර්විවාදව පිළිගත යුතුය. මේ ධාන්‍ය වාණිජයාගේ සහජ කවිත්වය නිසා ‘ඉලඞ්ගෝ අඩිහල්’ වැනි කුමාර කවීන්ගේ සම තත්ත්වයට පත්විය. ඉලඞ්ගෝ අඩිහල් තුමා තම ‘සීලප්පදිකාරම්’ කාව්‍යයෙහි චාත්තනාර් ගැන මහත් ගෞරවයකින් නිතරම සඳහන් කිරීමෙන් එය පැහැදිලිවේ.
කවියෙකු වශයෙන් චාත්තනාර් නිපුණ රචකයෙකු බව පැහැදිලිය. ලේඛන ශෛලියෙහි සරලත්වය, අනායාසයෙන් වචන ගිලිහීම, පැහැදිලි විලාසය, අදහස්වල සාරවත්කම, අලංකාර වර්ණනයෙහි විස ද භාවය, කල්පනා ශක්තියෙහි පොහොසත්කම යනාදිය ඔහුගේ කෘතීන්හි ප්‍රධාන ලක්ෂණයෝයි. මණිමේඛලාවෙහි එන පද්‍යයක් පාසාම මේ ලක්ෂණ දැක්ක හැකිය. මණිමේඛලා කාව්‍යය හැරෙන්නට චාත්තනාර් විසින් රචිත රසවත් පද්‍යයෝ ‘එට්ටුත්තොකෛ’ නමැති ග්‍රන්ථ සංග්‍රහයට අයත් ‘නට්ටි්‍රනෛ’ ‘කුරුන්තොකෛ’ ආදී ග්‍රන්ථයන්හි දක්නා ලැබෙත්.
මණිමේඛලා මනිපල්ලව ද්වීපයේ සිට ජාවා රටට ගිය බවත්, එහි ටික කලක් සිට ජාවා රට නාගපුරයෙහි රජ කළ පුණ්‍යරාජයන් සමග නැවත මණිපල්ලව ද්වීපයට ගිය බවත් ග්‍රන්ථයෙහි සඳහන් වෙයි. මෙයින් එකල ජාවා, සුමාත්‍රා ආදී රටවල බුද්ධාගම පැවැති බව පැහැදිලිය. එහෙත් චීන දේශාටකයෙකු වූ පාහියන් (ක්‍රි.ව. 399 – 414) තමා එහි පැමිණෙන විට ඒ රටෙහි බුද්ධාගම පැවැති බව සඳහන් නොකරයි. එහෙත් ඊට පසු ජාවා රටට පැමිණි ඉට්සින් (ක්‍රි.ව. 671 – 95) එහි බුද්ධාගම දියුණු තත්ත්වයක පැවැති බව සඳහන් කරයි. මෙයින් පාහියන්ගේ කාලයෙන්, එනම් ක්‍රි.ව. 4 වැනි ශත වර්ෂයෙන් පසු මණිමේඛලාව රචනා කරන ලද්දේ යැයි තීරණයට බැස ගැනීමට සිදුවෙයි. මෙයට විරුද්ධව කරුණු දක්වන ඉතිහාසඥයෝ ‘පාහියන් ජාවා රටට පැමිණෙන්නට පෙර බුද්ධාගම පැවතුනේ යැයි ද, එහි පැවැති ආදි බුද්ධාගම වැඳීම්, පිළිවෙත් කිරීම් ආදී සෑම විදියකින්ම බ්‍රහ්මාගම හා සමාන තත්ත්වයකින් පැවතුණේ යැයි ද, එහෙයින් පාහියන්ට එහි බුද්ධාගම වෙනස් කොට දැන ගැනීමට නොහැකිවී යැයි ද, මණිමේඛලාව රචිත කාලයවූ ක්‍රි.ව.2 ශත වර්ෂයෙහිත් ජාවා රටෙහි බුද්ධාගම පැවතුණේ යැයි” කියති. මේ මතය බිඳ හෙළීමට කරුණු නැති බැවින් ක්‍රි.ව. 2ශත වර්ෂයේම මණිමේඛලාව රචිතයයි පිළිගත යුතුය.
මණිමේඛලා:- මණිමේඛලා ග්‍රන්ථයෙහි දැක්වෙන්නේ බෞද්ධ කතාවකි. මෙය පාලි, සිංහල සංස්කෘත ග්‍රන්ථයන්හි අප්‍රකටය. බුද්ධාගම සමග දෙවියන්ගේ අරුම පුදුම බලයන් මෙහි විස්තර වන බැවින් මෙය උතුරු බුද්ධාගමට අයිති කතාවකැයි සිතිය හැක. පාඨකයන්ගේ සිත බුද්ධාගම වෙත ඇදී යන පරිද්දෙනුත්, අන්‍ය ආගම් කෙරෙහි කලකිරෙන අන්දමිනුත්, බුද්ධාගමේ ප්‍රධාන ධර්ම මාර්ගයන් විස්තර කිරීමෙන් මෙය ලියා තිබේ. එහෙයින් මෙය හීනයාන බුද්ධාගමට ද ගැළපේ. මෙයින් එකල පැවැති ආගම් හා දර්ශනයන් පමණක් නොව තත්කාලීන ඉන්දියාවේ ඉතිහාසය ද ඉගෙන ගත හැකිය. ද්‍රවිඩ පංචමහා කාව්‍යයන්ගෙන් එකක් වූ මෙයට ද්‍රවිඩ සාහිත්‍යයෙන් හිමිවන්නේ උසස් තැනකි. මෙහි කතා ශරීරය හා සීලප්පදිකාරම් කාව්‍යයෙහි එන කතා ශරීරය ද එකට සම්බන්ධය. පරිච්ඡේද තිහකින් යුක්ත මෙහි රචනා ශෛලිය ද්‍රවිඩ සාහිත්‍ය විෂයෙහි චාත්තනාර්ට ඇතිව තිබූ අද්විතීය පටුත්වය විදහා දක්වයි.
පළමුවෙනි වරට මා මණිමේඛලාව ඉගෙන ගන්න ලද්දේ යාපනේ කොකුවිල් හින්දු කොලිජියේ දී ය. මගේ විභාගයෙන් පසු එකල මගේ ඉගෙනීමෙහි භාාරකාරත්වය ඉසුලූ දැනට කොළඹ මහා රෝග්‍ය ශාලාවෙහි ස්ත්‍රී චිකිත්සාව පිළිබඳ ප්‍රධාන දොස්තරවූ ඒ. සින්නතම්බි මහතා මණිමේඛලාව සිංහලට පෙරළන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. මෙවැනි බැරෑරුම් කටයුත්තක් කිරීමට මා බියවූ නිසාත්, මෙයට මගේ ද්‍රවිඩ භාෂා ඥානය නොසෑහේ යැයි සිතූ නිසාත්, දෙමළ පණ්ඩිත විභාගයෙන් සමර්ථවී මෙය පරිවර්තනය කරන්නෙමැයි ඉටාගත් නිසාත්, ඒ කාලයෙහි මා හිතමිත්‍ර දොස්තර මහතාගේ ඉල්ලීම ඉටු කිරීමට නොලැබී ගියේය. දෙමළ පණ්ඩිත විභාගයෙන් පසුව ද මා ඉංග්‍රීසි ඉගෙනීමට පටන්ගත් බැවින් මෙය දිගින් දිගටම අතපසු විය. 1949 දී මම ලංකා විශ්වවිද්‍යාලයට බැඳී ‘ඉන්ටර් ආට්ස්’ විභාගයට ඉගෙන ගන්නා කලද මණිමේඛලාව දෙමළ භාෂා අංශයේ පාඩම් (Text) පොතක්ව තිබුණෙන් නැවතත් එය ගුරුමුඛයෙන් ඉගෙන ගන්නට ලැබිණ. එසේ ඉගෙන ගන්නා විට එහි කතා රසයෙන්, දර්ශන වාදයන්ගෙන් හා ඉතිහාස ප්‍රවෘත්තීන්ගෙන් පිනාගිය මම ‘මෙවර විභාගයෙන් පසු මණිමේඛලාව සිංහලට නඟමි’යි ඉටාගතිමි. මගේ අදහස දැනගත් දොස්තර සින්නතම්බි මහතා නැවත ද මට මේ කටයුත්තෙහි දී ධෛර්ය්‍යය දුන්නේය. 1950 අප්‍රියෙල් මස 6 වැනි දින මගේ විභාගය අවසන් විය. ඒ සමගම ලැබුණු තෙමසක නිවාඩු කාලය මණිමේඛලා පරිවර්තනයට මහෝපකාරී විය. අද පාඨකයා අතට පත්වී තිබෙන්නේ එසේ පරිවර්තිත මණිමේඛලාවයි.
මේ කුඩා මණිමේඛලාව පිළිගැනීමෙන් මට ධෛර්ය්‍යය දුන් මගේ ආචාර්ය දෙපොළක් වන ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රාචීන භාෂාංශයේ ප්‍රධාන (ඩීන් තැන්පත්, සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන සංස්කාරකවූ මහාචාර්ය ඇම්.ඩී. රත්නසූරිය, පී.එච්.ඩී. මැතිතුමාණන් සහ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයෙහි කථිකාචාර්ය වජිරා රත්නසූරිය බී.ඒ. (ලන්ඩන්) ඇම්.ඒ. (ලංකා) මැතිණියත් භක්ති පූර්වකව සඳහන් කරමි. මෙහි පිටපත සකසා පිරිසිදුව ලියා දුන් එවක බලගල්ලේ සරස්වතී පිරිවෙනේහි දීප්තිමත් ශිෂ්‍ය දෙපොළක් වන මාගේ සහෝදර යටගම ධම්මපාල, උඩුගම්පොල මහින්ද යන කුඩා ස්වාමීන් වහන්සේලා දෙනම මෙහිදී කෘතඥතා පූර්වකව සඳහන් කරමි.
ස්වකීය ධනව්‍යයෙන් මේ ග්‍රන්ථය මුද්‍රණය කරවා ශාස්ත්‍රාභිලාෂීන්ගේ මනදොල සපුරාලීමෙහි උත්සුක වූ සීමාසහිත ඊස්ටන් මෝටර් ගරාජ් සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂක තැන්පත්, මාගේ සහෝදර සත්ගුණවත් ඩී.ඩී.ජේ. වික්‍රමසිංහ මහතාණන් භක්ති පූර්වකව මෙහි සඳහන් කරමි.
මේ ග්‍රන්ථය පරිවර්තනය කිරීමේදී අපට වැදගත් උපදේශ දීමෙන් සංග්‍රහ කළ ලංකා විශ්වවිද්‍යාලයේ ද්‍රවිඩ භාෂාව පිළිබඳ මහාචාර්යවරයා වූ කේ. ගණපති පිල්ලේ මහතා ද, එම විද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රධාන කථිකාචාර්යවරයා වූ ඩී.ඊ. හෙට්ටිආරච්චි මහතා ද කෘතඥතා පූර්වකව සඳහන් කරමි. ටයිටලයේ මණිමේඛලා පිංතූරය ලස්සනට ඇඳ දුන් ලංකා විශ්වවිද්‍යාලයේ මා මිත්‍ර ලීලානන්ද ප්‍රේමතිලක මහතා ද ස්තූතියෙන් සඳහන් කරමි.
සංරක්ෂණය – දිවංගත විදුහල්පති නාමචන්ද්‍ර නිශ්ශංක