මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් අරන්: – මුදල් කාරක සභාවෙන් හර්ෂ පන්නන කුමන්ත්‍රණයක්

232

හැම දේකටම අපිට මරාගන්න වෙලා මෙහෙම ගිහින් ප්‍රෙෂර් වැඩිවෙලා මැරෙයි – හර්ෂ කියයි

කිසිදු වරප්‍රසාදයක් නොගෙන පාන්දර 03.00 පමණ වනතුරු වෙහෙසී කටයුතු කරන තමන්ව මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගෙන මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් පැන්නීමේ කුමන්ත්‍රණයක් සිදුවන බව විපක්ෂ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.

කාරක සභා වාර්තාවක් ඉදිරිපත් කරන අතරතුර විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මම මේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය නැවතත් ලබා ගත්තේ අභියෝග රැසක් ජයග්‍රහණය කරමින්. මාව දෙපාරක් මේ සභාපති ධුරයෙන් ඉවත් කළා. තුන්වැනි වතාවේ විපක්ෂ නායකතුමාගේ දැඩි ඉල්ලීම මත තමයි මේ තනතුර මට හිමි වුණේ. මට මේකෙන් වරප්‍රසාදයක් ලැබෙන්නේ නෑ. මගේ බිරිඳගෙන් ඇහුවොත් කියයි ඒ ගැන. මම නිදාගන්නකොට රෑ 2.45යි 03.00 විතර වෙනවා. මට කාර්යාලයකුත් නෑ. මට වැඩ කරන්නේ ඇනලයිසීස් නිලධාරීන් තුන් දෙනෙක් විතරයි. මේ වැඩේ කරනකොට යම් කිසි ගරුත්වයක් තිබිය යුතුයි. මට කාර්ය මණ්ඩලයක් නෑ. ඉන්න තුන් දෙනාට පඩි ගෙවාගන්න විදිහකුත් නෑ. මට කාට හරි වඳින්න වෙලා තිබෙනවා ඒ තුන්දෙනාට පඩි ගෙවන්න කියලා. හැම මුදල් පනතක්ම අපි විශ්ලේෂණය කරන්න ඕනෑ. හැම දේකටම අපිට මරාගන්න වෙලා තිබෙනවා. මෙහෙම ගිහින් මගේ ප්‍රෙෂර් එක වැඩිවෙලා මැරෙන එකයි වෙන්නේ.

කථා නායක – එච්චර කේන්ති ගන්න එපා.

සභා නායක සුසිල් ප්‍රේමජයන්ත මහතා –

විශාල කාර්යභාරයක් මෙතුමන්ලාට පැවරිලා තිබෙනවා. වත්මන් ජනාධිපතිතුමාම තමයි අලුතෙන් ඔය මුදල් කමිටුව නිර්මාණය කළේ. මේ ආර්ථික ප්‍රශ්නයක් තිබෙන වෙලාවක මේ කමිටුවේ අගය දැඩිව දැනෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් මේ ගැන සලකා බලා මුදල් කාරක සභාවේ කටයුතු කරගෙන යන්න සම්පත් ටික දෙන්න ඕනා.

හර්ෂ ද සිල්වා මහතා – බොහොම ස්තුතියි. මට කියන්න දෙන්න. සමහර වෙලාවට මට අතින් පඩි ගෙවන්න වෙලා තිබෙනවා. මේ තනතුර සටන් කරලා ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්.

පළමු වතාවේ මාව පැන්නුවේ ගල් අඟුරු ප්‍රශ්නය මුල් කරගෙන. එදා ගල්අඟුරු ගත්තනම් අද ගෙවන්න වන ඩොලර් ප්‍රමාණය බලන්න. අපට පුළුවන් වුණා මහා වංචාවක් වළක්වන්න. මාව දෙවැනි පාර පැන්නුවේ මෙහේ කට්ටිය වෝටර්ස්එජ් එකට එක්කන් ගිහින් අයිඑම්එෆ් එකට යායුත්තේ කියලා බංකොළොත් වෙන්න කලින් කරපු සම්මන්ත්‍රණය නිසා. ඒකට කට්ටිය ගෙනිච්චේ මෙහේ බස් එකකින් කියලයි පැන්නුවේ. බස් එකේ ගෙනිච්චේ පෙට්‍රල් ගණන් නිසයි.

ඊට පස්සෙ මේ කැසිනෝ රෙගියුලේටර් කෙනෙක් නැති නිසා අපි ලයිසන් දෙන්න බෑ කිව්වා. ඒ ගැන අපි දැන් ක්‍රියා කරගෙන යනවා. ඊළඟට කෘෂිකර්මයට වැට් බද්ද ගහන එක ගැන මහා පෙනී සිටීමක් මම කළා. ඒ වගේ තවත් කාරණා ගණනාවක්. කිරිපිටි අඩු කළා. සීනි වංචාව ගැන කතා කළා. මහා බැංකුවේ පඩි වැඩි කිරීම ගැන ක්‍රියා කළා. ඒ වගේ විශාල වැඩ කොටසක් ඉටු කළා. ක්ෂුද්‍ර මූල්‍ය පනත ගැන අපි ප්‍රශ්න කළා. ඒ පනත ආවානම් විශාල ප්‍රශ්න ගණනාවක් වෙනවා. වරාය නගරයේ ඩියුටි ෆ්‍රී ෂොප් එකක් දාන්න යන එක අපි නැවැත්තුවා. අවසානයේදී වීසා ප්‍රශ්නය වීඑෆ්එස් ගාස්තුව ගැන. අතීශයින් මම කනගාටු වෙනවා. සමහර නිලධාරීන් බලෙන් ගෙන්නන්න වුණේ. මහ ලේකම්තුමියට බලෙන් කැඳවන්න වුණා.

ඕනේ නම් මම යන්නම්, දැන් අත්සන් ගත්තලු. ප්‍රශ්නයක් නෑ. මම යන්නම්. එතකොට මට නිදා ගන්න හරි පුළුවන්. මම කරන්නේ සද්භාවයෙන් සමස්ත විපක්ෂය වෙනුවෙන්. මාව පත් කළේ විපක්ෂ නායකතුමාගේ ඉල්ලීමෙන්, විපක්ෂයේ සෑම දෙනාගේම කැමැත්තෙන්. මාව ඕනේ නැත්නම් මම යන්නම්. හැබැයි මම ඉන්නකම් සෑම දෙයක් ගැනම හොයනවා. නැත්නම් මාව පන්නන්න. දෙකෙන් එකක් තෝරගන්න.

සභා නායක – අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. මේක ඉතාම දුෂ්කර කාර්යයක්. ඔබතුමාව පන්නගන්න අපි කාටවත් ඕනේ නෑ. මට නම් ඔබතුමාව පන්නගන්න ඕනේ නෑ. ඔබ විෂය ගැන දන්නවා. පර්යේෂණ කරනවා. ඔබව පැන්නීම ගැන මම නම් දන්නේ නෑ.

හර්ෂ ද සිල්වා මහතා – හරි එහෙනම් බොහොම ස්තුතියි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment