මේ ජනප්‍රියත්වය ලබන්න ලොකු කට්ටක් කෑවා

මේ දිනවල විකාශය වෙන ජානු, නීල පබළු වගේම බයිස්කෝප් නිර්මාණ හරහා ඔබ හමුවට එන නයෝමි තක්‍ෂිලා සමග මීවිත පුංචි කතාබහක නිරත වුණා. ඉතිං නයෝමිගේ ඒ කතාබහ පහතින් මේ ආකාරයට පෙළගැස්සුවා.

මේ දවස්වල ටෙලි නිර්මාණ තුනකින් දකින්න ලැබෙනවා?

වෙනස් විදියේ චරිත තුනකින් පුංචි තිරය හරහා මේ දවස්වල ප්‍රේක්‍ෂකයෝ අතරට ඇවිත් තියෙනවා. නීල පබළු ටෙලි නාට්‍යයේ චරිතය ගත්තහම වෙනස්කම් රාශියකට භාජනය වෙච්ච චරිතයක්. දැන් මම හිතන්නේ එහි අවසානයත් ළඟා වී ගෙන එනවා. ජානු හි නිත්‍යා කියන්නේ අහිංසක චරිතයක්. බයිස්කෝප්හි රඟපාන්නේ කොල්ලෙක් වගේ කිසිම කෙනකුට බය නැති චරිතයක්. හැබැයි මේ චරිත තුනම හරි ආදරණීයයි.

මම කොළඹ ආවේ ගුරුවරියක් වෙන්න - නයෝමි තක්ෂිලා

වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ මොන ටෙලි නාට්‍යයට ද?

දැනට වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ ජානු නාට්‍යයේ නිත්‍යාට තමයි.

නිත්‍යා ගැන මොකද හිතෙන්නේ?

නිත්‍යාගේ චරිතයට මම හරි ආදරෙයි. ඒක හොඳ චරිතයක් වගේම සමාජයට ආදර්ශවත් චරිතයක්. එහෙම චරිත තමයි අපි කලාවෙන් මිනිස්සුන්ට ලබාදෙන්න ඕනෑ. මොකද මිනිස්සුන්ට දෙන්න ඕනෑ හොඳ දෙයක්නේ.

මම කොළඹ ආවේ ගුරුවරියක් වෙන්න - නයෝමි තක්ෂිලා

බයිස්කෝප් කියන්නේ නයෝමිගේ අලුත්ම වැඩේ?

බයිස්කෝප් නාට්‍යයේ තවම කොටස් තිහක් විතර තමයි විකාශය වුණේ. දැනට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. මොකද සමාජයේ විවිධ පැතිකඩයන් කිහිපයක් මේ ටෙලි නාට්‍යයෙන් ගෙනහැර දක්වනවා.

බයිස්කෝප් විහඟි ගැන කට්ටිය මොනවද කියන්නේ?

විහඟි සහ ඇඩම්ස්ගේ ආදර කතාවට ගොඩක් කට්ටිය කැමතියි. හරි සරල චරිත දෙකක්නේ. තරුණ පරම්පරාව මේ ආදර කතාවට කැමැතියි වගේ.

කොහොමද මේ ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණේ?

ශිවා සර්ගේ ඇතුල්වීම තහනම් ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වුණාට පසුව තමයි මේ ටෙලි නාට්‍යයටත් රංගනයෙන් ආරාධනා ලැබුණේ. නලින්ද අයියා, බුද්ධි අයියා වගේම ශිවා සර් එකතුවෙලා තමයි මේ ආරාධනාව ගෙන ආවේ. ලැබුණ ආරාධනාව මම එක පයින් භාරගත්තා.

සිනමාවට ආරාධනා ලැබුණේ නැති ද?

සිනමා නිර්මාණයක් කරල තියෙනවා. ඒ ගැන වැඩි විස්තර එළැඹෙන ජූලි, අගෝස්තු මාසයේදී දැනගන්න ලැබේවි.

මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?

මනුස්සයකුට ජනප්‍රියත්වයක් ලබන්න වාසනාව තියෙන්න ඕනෑ. කෙනකුට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්, හැබැයි ජනප්‍රිය වෙන්න බැහැ. මම ගමේ ඉඳලා ඇවිල්ලා තනියම දෙයක් හදාගෙන ඒ අතරේ උපාධියකුත් අරගෙන මගේ අරමුණට අද ඇවිත් තියෙනවා. මේ ජනප්‍රියත්වය ලබන්න මම ලොකු කට්ටකුත් කාලා තියෙනවා වගේම කැපකිරීමකුත් කරලා තියෙනවා. ඒ වගේම ඒ සඳහා වාසනාවක් මට කොහෙන්දෝ මන්ද ලැබිලා තියෙනවා.

පසුගිය කාලයේ ඔබව ඇගයීමට පවා ලක්වුණා. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඕනෑම ක්‍ෂේත්‍රයක කෙනෙක් හරි කැමතියි තමන් කරන දෙයට ඇගැයීමක් ලබන්න. රංගන ක්‍ෂේත්‍රයේ ඉන්න බහුතරයක් රංගන ශිල්පීන්ගේ ලොකුම හීනය තමයි හොඳම නිළියට හිමි සම්මානය ලබාගැනීම. 2019 වසරේ තමයි මම ජනප්‍රිය නිළියට හිමි සම්මානය ලබාගත්තේ. එදා මම වේදිකාවේදී කිව්වා මේ වේදිකාවේදීම මම හොඳම නිළියට හිමි සම්මානයත් ලබා ගන්නවා කියලා. ඊට පසුව අවුරුදු හතරකට පස්සේ මට හොඳම නිළිය කියන හීනය සැබෑ කරගන්න හැකි වුණා.

අඳුන්ගිර කියන්නේ ඔබේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරළපු නාට්‍යයක් නේද?

මේ වෙලාවේ අඳුන්ගිර අධ්‍යක්‍ෂ ඉන්දික ධර්මතිලක අයියා වගේම නිෂ්පාදිකා නුවනි වලිමුණි අක්කාව අනිවාර්යයෙන් මතක් කරන්න ඕනෑ. මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් තමයි අඳුන්ගිර ටෙලි නාට්‍යයේ පද්මාගේ චරිතය. එහිදී මට ප්‍රවීණයන් රැසක් සමග වැඩ කරන්න ලැබුණා. මේ හැමෝගෙම උත්සාහයක ප්‍රතිඵලයක් තමයි පද්මා කියන්නේ.

ගමේ ඉඳන් කොළඹ ඇවිත් ලැබුණු වටිනාකම ගැන මොකද හිතෙන්නේ?

තමන්ගේ ජීවිතයට දෙයක් ළඟා කරගන්න ඕනෑ නම් ඒකට තමන් ඉන්නේ කොච්චර දුෂ්කර පළාතක ද දුෂ්කර පරිසරයක ද කියන කාරණාව අදාළ නැහැ. ඇත්තටම ඒකට හොඳම උදාහරණය තමයි මම. මම ජීවත් වුණේ ගමේ. මම කොළඹ එන කාලේ පැයකට සැරයයි බස් එකක් තිබුණේ. සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අනේ අපිට ජීවිතයේ ගොඩයන්න බැහැ කියලා. නමුත් උත්සාහය, කැපවීම තියෙනවා නම් ජීවිතය ජය ගන්න පුළුවන්.

ඔබ ඉන්න තැන ගැන අද වෙනකොට ගෙදරින් මොනවද කියන්නේ?

ඒගොල්ලන්ට ඇත්තටම සතුටුයි. මුලදී නම් අම්මයි තාත්තයි කැමැති වුණේ නෑ. මම කොළඹට ආවේ ගුරුවරියක් වෙන්න. හැබැයි උපාධිය අවසන් කළා. නමුත් දෙමව්පියන්ගේ ඔළුවේ තිබුණේ ගුරු පත්වීම කියන කාරණාව. මේ ක්‍ෂේත්‍රය ගැන සමහරු විවිධ වැරදි මත පතුරුවා හැරල තියෙන හින්දයි ඒගොල්ලො වැඩිපුර බයවුණේ. නමුත් අන්තිමේ ගෙදරින් දැනගත්තා මම බුද්ධිමත්ව කටයුතු කරනවා කියලා.

ගුරුවරියක් වීමේ සිහිනය සැබෑ නොවීම පිළිබඳව දුකක් තියෙනවා ද?

මම අධ්‍යාපනවේදී නාට්‍ය හා රංග කලාව පිළිබඳව උපාධිය හදාරලා අවසන් කළා. හැබැයි මට ගුරුපත්වීමක් නම් ගන්න බලාපොරොත්තුවක් නැහැ. ඒක ඇත්තටම ලොකු වගකීමක්. අනික මම දන්නේ නැහැ මට ඒක කරන්න පුළුවන් ද කියලත්.

වේදිකාවේ වැඩකටයුතු එහෙම කොහොමද?

වේදිකාවේ වැඩකටයුතු කරගෙන යනවා. මම ක්‍ෂේත්‍රයට මුලින්ම එන්නෙත් වේදිකාව හරහායි. මගේ ජීවිතයේ පළමු සම්මානය ගත්තෙත් හොඳම නිළිය විදිහට වේදිකාවෙන්. ඉතිං ඒක මම අදටත් අමතක කරන්නේ නැහැ. දැනටත් මම රංගනයෙන් දායක වුණු වේදිකා නාට්‍ය දෙකක් වේදිකාගත වෙනවා. ඉදිරියටත් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා.

වේදිකාව, සිනමා, ටෙලි නාට්‍ය කියන අංශවලින් වැඩිපුරම කැමැති මොන අංශයට ද?

මූල්‍යමය පැත්තෙන් ගත්තොත් අපිට සිනමාව, ටෙලි නාට්‍ය ගන්න පුළුවන්. හැබැයි අපේ හිත තෘප්තිමත් කරන්න පුළුවන් මාතෘකාව තමයි වේදිකාව. වේදිකාවේ ඉන්නකොට අපි අප්ඩේට් වෙනවා.

ළඟදී ගමේ ගියේ නැති ද?

යනවා යනවා. මාසෙකට එකහමාරකට කලින් ගමේ ගියා.

ගමට ගියහම ලැබෙන ප්‍රතිචාර?

ගමේ ඉන්න කට්ටිය ඉස්සර වගේම අදටත් මට ආදරෙයි. මට ගමේ අය ඉස්සර ඉඳලා කියන්නේ බබා කියලා. අදටත් ඒ බබා එහෙමමයි. මම නිළියක් වුණාට ගමට යනකොට මමත් ඒ ගමේ හිටපු බබාම තමයි. ඒ නොවෙනස්වෙන ගතියට ඒ ගමේ මිනිස්සු මට හරි ආදරෙයි.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment