රටට ආදරය කළ මානව හිතවාදී ගාමිණි

253

මධ්‍යම කඳුකරයෙන් අප මවුබිමට බිහිවූ උදාර දේශපාලන නායකයකු වූ ඇන්ඩෲ දිසානායක මැතිඳුන්ගේ දෙටු පුත් ගාමිණී දිසානායක මැතිතුමා අප මවුබිමට කරන ලද අති උදාර මෙහෙවර සදාකාලිකව ම ජනතා හදවත්වල පතිත වී ඇත. දේශයට, ජාතියට, සංස්කෘතියට, භාෂාවට, සභ්‍යත්වයට, ශිෂ්ටාචාරයට, විනයට බොහෝ ආදරයක් දැක්වූ බොහෝ අපක්ෂපාතී චින්තන ශක්තියක් තිබූ උදාර නායකයෙක් බවට බොහෝ ජනතාව හද බැතියෙන් පිළිගන්නා කරුණකි.

මේ රටේ අවුරුදු 30කට ඉදිකිරීමට සැලසුම් කර තිබූ මහවැලි ගංගාවන් වැනි ගංගා කඩිනම් ව්‍යාපාරයක් වශයෙන් අවුරුදු 06කින් නිමකිරීමට හැකිවූ එවකට තරුණ අමාත්‍යවරයෙක්ව සිටි ඉඩම් සහ මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක මහතා විශිෂ්ට ගණයේ හොඳ දේශපාලඥයෙකි. රජ මැඳුරත් – ගොවි කෙතත් එක හා සමානව සිතූ ගොවි ජනතාවගේ හදවතට ඇතුළත් වූ හොඳම දේශපාලනඥයකු බවට එම මහවැලි කලාපයන්වල සැරිසරන විට එතුමාට තිබෙන ආදරය ගෞරවය කෙබඳු ද කියා අදත් දැකගත හැක.

ඔහු පිරිත් නූලට, මල්වට්ටියට සීමා වූ බෞද්ධයකු නොව, හදවතින්ම බෞද්ධ ශාසනයට, මහා සංඝරත්නයට බොහෝ සේ අවංකව ආදරය කළ ශ්‍රේෂ්ඨ බෞද්ධයකු බව ඇසුරු කළ මහා සංඝ රත්නයත් පොදු ජනතාවත් හොඳින් දනී. එතුමා ව්‍යාජ සෝබන දේශපාලඥයකු නොවූ අතර හදවතේ යම් අභිප‍්‍රායක් ඇතිව සැලසුම් සහගතව උතුම් අදහස් ඇතිව ක‍්‍රියා කළ හොඳ නිහතමානී කරුණාබර අදහස් ඇතිව ජීවත් වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. ඇසුරු කරන සැමදෙනාට ම ඔහු තුළ තිබුණේ පුදුම සහගත ආදරයක් සහ බැඳීමකි. ඔහු කිසිවකුගේ ව්‍යාජ මිත‍්‍රයකු බවට පත්වූයේ නැත. ඔහු කා තුළත් ජීවත් වූයේ සැබෑ නායකයකු සහ සැබෑ මිතුරකු ලෙසින් බව ඔහු ළඟිින් ඇසුරු කළ මමත්, ළඟින් ඇසුරු කළ තව බොහෝ දෙනකුත් දන්නා කරුණකි.

ගාමිණී දිසානායක මැතිතුමාගේ සිත තුළ මහවැලිය තරම් දිග ගංගාවක් මෙන් අදහස් මතු විය. අපේ රට ගොඩනඟා ගන්නේ කෙසේද? අපේ රටේ අනාගතයට සැලසුම් සාදා සියලූම ජන කොටස්වලට යහපතක් කිරීමට එතුමාගේ හදවත තුළ විශාල බලාපොරොත්තු තිබූ බව ළඟින් ඇසුරු කළ මම හොඳින් දනිමි. ඔහු ඇමතිකමට සීමා වී ජීවත් වූ අයෙක් නොවේ. ඔහු සැබැවින්ම ජනතාවට සමීප වී ජනතා හද දිනූ දේශපාලන ලංකා පුත‍්‍රයෙකි. කුමන රටකට ගියත්, කුමන ප‍්‍රදේශයකට ගියත් විහිළුවක් කරමින්, සිනාසෙමින් කවුරුත් සතුටට පත් කරමින් සුහදතාවෙන් ඇසුරු කළ කෙනෙක් බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. එතුමා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ උපදෙස් මත අප රටේ පැවැති යුද්ධය නතර කීරීමට විශාල කැපකිරීමක් කළ නායකයෙකි. මේ නිසා එතුමාට බෝම්බ ප‍්‍රහාරයකින් අකල් මරණයක් සිදුවූයේ ද ඒ නිසාය. ගාමිණී දිසානායක මහතා අප රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගෙන් එක් අයෙකි.

එතුමා වැනි අය විශාල පිරිසක් යුද කාලයේදී අප රටට අහිමි විය. එතුමාට සෑම අභියෝගයක්ම ආවේ ඇතැම් දේශපාලඥයන්ගෙන් මිස වෙනත් අයගෙන් නොවේ. එතුමාගේ අකල් මරණයට හේතු වූයේත් එයයි. නමුත් මේ රටේ ජීවත්වන රජරට, කඳුරට ජනතාවගේ බීමට ගන්නා වතුර බිංදුවක් පාසා එතුමාට ගෞරවය හිමිවේ. එක්තරා කථාවක් අදටත් මාගේ හදවතේ පතිත වී ඇති අතර එය නිතරම මට සිහියට නැඟේ.

එනම් එතුමා මාහට පැවසුවේ එතුමාගේ පියා ඇන්ඩෲ දිසානායක මැතිතුමා ප‍්‍රථමයෙන්ම විදේශීය රටකට ගියේ බුරුම රටටයි. ඔහු එම රටට ගියේ මල්වතු පාර්ශ්වයේ මහානායක අමුණුගම ශ‍්‍රී විපස්සි මහානාහිමි සමගයි. අද මම ජපානයට ප‍්‍රථමයෙන් යන්නේ පැල්පොළ ශ‍්‍රී විපස්සි හිමි සමගයි. එමනිසා ඔබ වහන්සේ මහානායක හිමියන් වේවා! යි ප‍්‍රාර්ථනය කරමි. එතුමා ජපානයේ දී මාහට කීවේ ”හාමුදුරුවනේ මට දැන් ඇමතිතුමා කියා කියන්න එපා මාගේ සියලූ තනතුරු මම ලංකාවේ තියලා ආවේ, මට ගාමිණී කියලා කථා කරන්නැයි කියා පැවසුවා. තවද එතුමාහට ජපානයේ පොදු බස් රථයක පොදු දුම්රියක සහ උමං දුම්රියක යෑමට අවශ්‍ය බවත් අප රටේ ගමනා ගමන කටයුතු එලෙස සැලසුම් කර සකස් කිරීමට අවබෝධය ලබාගැනීීමට අවශ්‍ය බවත් එතුමා මා සමග එය පැවසුවේ මහත් ආඩම්බරයෙනි. එතුමාට එම ගමනේදී අවශ්‍යව තිබුණා වාහන නිපදවන කර්මාන්ත ශාලාවක් නැරඹීමට. එවිට අප නිසාන් මෝටර් රථ නිපදවන කර්මාන්ත ශාලාව නැරඹීමට අවස්ථාව සලසා දුන්නා. එම ගමනට මමත්, එතුමාත්, එතුමාගේ ආරකෂක නිලධාරී මහතාත් යන තිදෙනා සහභාගි වුණා. එවිට නිසාන් කරමාන්ත ශාලාවේ සිටි නිලධාරිනියක් මෝටර් රථයක් සකසන ආකාරය ඇණයක් නෑර සවිස්තරාත්මකව කියා දුන්නා. අපට පිටුපසින් චීන දූත පිරිසක් ද එම කර්මාන්ත ශාලාව නැරඹීමට පැමිණ සිටියා. මේ අවස්ථාවේ දී ගාමිණී දිසානායක මැතිතුමා මාහට පැවසුවා හාමුදුරුවනේ අපි දෙන්නාට ඇණයක් නෑර වාහනයක් සාදන ආකාරය මේ කාන්තාව කියා දුන්නා. දැන් පැමිණි පනහක් පමණ වූ දූත පිරිසට ඒ ගැන කියා නොදෙන්නේ ඇයි දැයි කියා අහන්න කියා මට පැවසුවා. මමත් ඒ අනුව ඒ කාන්තාවගෙන් ඒ ගැන විමසුවා. එවිට ඇය කියා සිටියා ඔබ දෙදෙනාට කියා දුන්නාට ඔබ දෙදෙනා ගිහින් කාර් නිපදවීමට අදහස් කරන්නේ නෑ. නමුත් එම චීන ජාතික පිරිසට කියා දුන්නොත් එම පිරිස චීනයට ගොස් වාහන සෑදීමට පටන් ගන්නවා කියා. එවිට ඇමතිතුමා ”ඔන්න හාමුදුරුවනේ අපිව ගණන් ගන්නා හැටි කියා කිව්වා. ඒ නිසා අපි දේශිය කර්මාන්තය, දේශීය නිෂ්පාදන අපේ රටේ ආරම්භ කිරීම වැඩි දියුණු කළ යුතුයි පැවසුවා. තවද පිටරට දේවල් රැගෙන ඒම නවතා අපේ දේවල් පිටරට යැවීමට කටයුතු කළ යුතු බව පැවසුවා. එම ප‍්‍රකාශය අදටත් ඉතා හොඳින් ගැළපේ. අප නිතර විදේශීය දේ අගය කරනවා මිස දේශීය දේ අගය කිරීමට පුරුදු වී නැත. ගාමිණී දිසානායක මැතිතුමා පවසන පරිදි දේශීය දේ ගොඩනඟා ගැනීමට නායකයන් පෙරමුණ ගන්නවා නම් එය ඉතාමත් ශ්‍රේෂ්ඨ කටයුත්තක් බව කිව යුතුයි.

ගාමිණී දිසානායක මහතාගේ අදහස වූයේ මේ රටේ යුක්තිය, සාධාරණත්වය, මිනිස්කම, මිනිස් නිදහස සහ ප‍්‍රජාත‍්‍රන්තවාදය ඇති ගුණගරුක දේශයක් බිහිකිරීම එතුමාගේ හදවතේ නිතරම පැවැති තිබූ බවට ළඟින් ඇසුරු කළ කෙනකු ලෙස මම සත්‍ය ලෙස ප‍්‍රකාශ කර සිටිමි. එතුමාගේ එම සිතුම් පැතුම් ඉදිරියට රැගෙන නොයන අය ගැන මම දුක් වෙමි. බොහෝ පිරිසක් පවසනවා අනේ අද ගාමිණී සිටියා නම් මොන තරම් වටිනවාද කොපමණ ගමනක් යෑමට තිබුණා ද කියා. ජනතා හදවත් තුළින් අපේ කන් දෙකට ඇසෙනවා මිනිසකු ජීවත්ව සිට මියගිය පසුවයි ඒ පුද්ගලයා රටට කොපමණ අවශ්‍ය දැයි සිතෙන්නේ.

ගාමිණී දිසානායක මැතිතුමාගේ මැතිනිය බොහෝම නිහතමානී කරුණාවන්ත ගුණගරුක කෙනෙකි. නිතරම අවිහිංසාවාදී ලෙස කටයුතු කරන ශ්‍රේෂ්ඨ කාන්තාවකි. ගාමිණී දිසානායක මැතිතුමා දරුවන්ගෙන් බලාපොරොත්තු වුණේ ඒ හා සමාන අදහස් ඇතිව කරුණාබරව ජනතා මෙහෙවරක් මාගේ දරුවන්ගෙන්ද සිදුවේ යැයි කියා එතුමා ප‍්‍රාර්ථනා කළා.

ගාමිණී චරිතයෙන් අපේ රටේ සියලූම දේශපාලන නායකයන්ට සහ දේශපාලනය ඉගෙන ගන්නා අයට බොහෝ ආදර්ශයක් ගත හැකි දේශපාලන නායක චරිතයක් බව කවුරුත් පිළිගන්නා කරුණකි. ඒ නිසා ගාමිණී ගැන කීවොත් මහවැලි ගඟ තරම් දිගට කීමට අදහස් වචන සහ විස්තර මා සතුව ඇත. නමුත් එතුමාගේ 27 වැනි ගුණ සමරුවේදී කියා සිටින්නේ නැවතත් අප මවුබිමේ ඉපිද අපේ දේශය වෙනුවෙන් සේවය කිරීමට ශක්තිය ලැබේවා! අපේ මවුබිමේ නැවතත් පහළ වේවා! කවදා හෝ ගාමිණී දිසානායක සහ ශ‍්‍රීමා දිසානායක යන දෙදෙනාට ම එකට නිවන් දැකීමට සංසාර සංසාරයේ ලැබේවායි ප‍්‍රාර්ථනය කරමි.

දූ පුතුන් තිදෙනාටත්, ඥාතීමිත‍්‍ර සැමටත් නීරෝගි සුවය හා දිගාසිරි පතමි.

ජපානය ප‍්‍රමුඛ අග්නිදිග ආසියාවේ ප‍්‍රධාන සංඝනායක,
පූජ්‍ය පැල්පොළ විපස්සි නාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment