අභිමානවත් 75 වසර සමරන කැලණියේ ගුරුකුලය

107

හෙළ දිවයිනේ සිව්කොන සුපතල අද්විතීය සමාජ මෙහෙවරක් ඉටුකරමින් උගතුන්, වියතුන් කලාකරුවන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි සමාජයට වැඩදායී පුරවැසියන් රැසක් බිහිකළ කැලණි ගුරුකුල විදුහල් මාතාව මෙම ජුලි මස 01 වන දිනට සිය 75 වන අභිමානවත් ජන්ම දිනය සමරයි.

ලක්දිව බෞද්ධාගමට තෝතැන්නක් වූ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් භූමියේ 1948 වර්ෂයේ ජුලි මස 01 වන දින මෙම උදාර විදුහල බිහිවුණේ එවකට ලක්දිව කීර්තිධරයෙන්, විදුනැණයෙන් අගතැන්පත් මහාචාර්ය යක්කඩුවේ පඤ්ඤාරාම, රත්මලානේ ශ්‍රී ධර්මාරාම, කිරිවත්තුඩුවේ ශ්‍රී පඤ්ඤාසාර, කොටහේනේ පඤ්ඤාකිත්ති, නාත්තණ්ඩියේ පඤ්ඤාසාර, බඹරැන්දේ සිරී සීවලී යන මහා සඟ ශාස්තෘවරුන්ගේ සෙවණේය. පසු කලෙක විද්‍යාලංකාර පිරිවෙන් භූමියෙන් වෙන්ව කැලණිය දුම්රියපළ පාර එවකට “පත්තෑයම්වත්ත වත්ත” නමින් හඳුන්වනු ලැබූ වර්තමාන විදුහල පිහිටි භූමිය වෙත ගෙනැවිත් ස්ථාපනය කරන ලදි. එවකට එහි ඉදිකරනු ලැබූ එකම ගොඩනැගිල්ල ලෑලි වටකරන ලද ටකරන් සෙවිලි කළ කුඩා ශාලාවකි. පාසලේ ප්‍රථම විදුහල්පති ධුරය දැරුවේ බී. ජේ. ප්‍රනාන්දු මැතිතුමාය. පසුව ටී. ජී. පියදාස මැතිතුමාත්, අමරදාස වීරසිංහ මැතිතුමාත්, එස්. එන්. ඩී. ජේ. පී. මායාදුන්න මැතිතුමාත්, එම්. ධර්මවර්ධන මැතිතුමාත්, අයි. මෙන්ඩිස් මැතිතුමාත්, එම්. බී. ද සේරම් මැතිතුමාත් පිළිවෙළින් මෙම විදුහලේ විදුහල්පති ධුරය දැරීය.

අභිමානවත් 75 වසර සමරන කැලණියේ ගුරුකුලය

මෙම විද්‍යාලයේ ස්වර්ණමය යුගය උදා වූයේ 1970 – 1977 කාලය තුළය. කැලෑ ගස් වලින් වට වූ පත්තෑයම් වත්ත පිහිටි ගුරුකුලය, ලක්දිව ප්‍රචලිත වන්නටත්, ඉතා සීග්‍ර දියුණුවක් ලබන්නටත්, අධ්‍යාපන කටයුතු උසස් මට්ටමින් පවත්වා ගැනීමටත් එම කාලයේදී හැකි විය. මෙම දියුණුවට මුල් වූයේ එම කාලය තුළ විදුහල්පති ධුරය දැරූ විදුහල වෙනුවෙන් කැපවීමෙන්, ධෛර්යයෙන් තමන්ගේ මුළු කාලයම විදුහලේ දියුණුවට කැප කළ අපවත්වී වදාළ අස්ගිරි මහ සංඝ සභාවේ හිටපු කාරක සභික අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත උඩුවාවල චන්දානන්ද නාහිමියන්ගේ මග පෙන්වීම යටතේය. උන්වහන්සේ විසින් ගුරුකුලයටත්, පාසල පිහිටි ප්‍රදේශයටත් කළ ඒ අනුපමේය සේවය කිසි දිනක මතකයෙන් බැහැර කිරීමට නොහැක. ඒ තරමටම උන්වහන්සේ ගුරුකුලය සමඟ බැදී සිටියහ. එවකට පැවති රජයේ, උදව්වෙන් නව ගොඩනැගිලි සාදවා, විද්‍යාගාර ඇතිකොට රජයේ නිලධාරීන් සමග ගැටෙමින් ඉතා දක්ෂ ගුරුවරුන් ලබා ගනිමින් මෙම විදුහල දියුණුවට පත් කරලන්නට ගත් උත්සාහය අදත් වැඩිහිටි කැලණිය, පෑලියගොඩ ජනතාව ප්‍රශංසා මුඛයෙන් කතා කරති. තම මාසික වේතනයෙන් කොටසක් ගෙවා මුරකරුවන් යොදවා විදුහල ආරක්ෂා කර ගත් හැටි ඒ වැඩිහිටි ජනතාව නිතර පවසති. එම නිසා ගුරුකුලය ගැන ලියන විට, කතා කරන විට උඩුවාවල චන්දානන්ද නාමය කිසිදා අමතක කළ නොහැක.

1977 වර්ෂයේ උන්වහන්සේ ගුරුකුල විදුහලේ විදුහල්පති ධුරයෙන් ඉවත්ව පූර්ණ ආගමික කටයුතුවල යෙදීම සඳහා මහනුවරට වැඩම කළහ. ගුරුකුලයේ අභාග්‍යසම්පන්න කාලය එලඹුනේ එම සමයේදීය. පංති වර්ජන, පරිපාලනය බිඳ වැටීම්, අධ්‍යාපන කටයුතු නිසි ලෙස කරගත නොහැකි වීම, විනය ඉතා පහත් මට්ටමකට ඇඳ වැටීම ආදිය ගුරුකුලය වෙලා ගත්තේය. විවිධ විදුහල්පතිවරු පත්ව ආවත් මේ තත්ත්වයෙන් ගලවා ගැනීමට ඔවුන්ට නොහැකි විය. 1978 වර්ෂයේ මැද භාගයේ පමණ එක්තරා තරුණ විදුහල්පති වරයෙක් විදුහලට පත්ව ආවේය. කඩා වැටුණු ගුරුකුලය නැවත හිස එසවූයේය. පරිපාලය, විනය, අධ්‍යාපනය, සිසු ගුරු සහයෝගිතාවය ක්‍රමයෙන් වර්ධනය විය. නැවත ගුරුකුලය යථා තත්ත්වයට පත්විය. එයට මුල් වූයේ අන් කිසිවකු නොව ඩී. ඒ. රාමනායක මැතිතුමාය. කඩා වැටී තිබූ විදුහලට නව පණක් එක් කරමින් දක්ෂ, ප්‍රවීණ ගුරුවරු පාසලට එක් කරගනිමින් ක්‍රමක්‍රමයෙන් පාසල දියුණු වන්නට විය. පරිපාලනයේ අති දක්ෂයෙකු වූ එතුමා ඉතා උනන්දුවෙන්, ධෛර්යයෙන් කටයුතු කරමින් ගුරුකුලයට නව පණක් ලබා දුන්නේය. විශේෂයෙන් එතුමාගේ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව (ලෙදර් බෝල්), කලා ක්‍ෂේත්‍රය, නිවේදන සේවය, අමද්‍යප සංගමය, අන්තර් විද්‍යාලයීය ශිෂ්‍යනායක දිස්ත්‍රික් කමිටු, පොලිස් ශිෂ්‍යභට බළකාය, පරිගණක විද්‍යාගාරය, වෘත්තීය නිපුණතා (වෑදුදුම් ශිල්පය, මූර්ති කලා, විසිතුරු මල්වගා) වැනි නවාංග රැසක් ගුරුකුලය තුළ ආරම්භ කරන ලදි. කලාවට ලැදි ප්‍රසිද්ධ ගුරුවරුන්ද පාසලට බඳවාගෙන පසුවකාලීනව දක්ෂ කලාකරුවන් රැසක් රටට දායාද කිරීමට හැකි වූ පරිසරයක් ගොඩ නගන ලදි. 80 දශකයේ ගුරුකුලය, එකම කලා සුර පුරයකි. විවිධ කලා වැඩසටහන්, නාට්‍ය, වැඩමුළු, නාට්‍ය තරග නිතර පැවැත්වුණි. විදුහලේ නාට්‍ය කණ්ඩායම්, විවාද කණ්ඩායම්, සමස්ත ලංකා තරගවලට පවා ඉදිරිපත් විය. වරක් විද්‍යලයීය ශිෂ්‍ය කණ්ඩායමක් සමස්ත ලංකා දැනුම/මිණුම වැඩසටහනක තෙවන ස්ථානය දිනා ගන්නා ලදි. “ගුරුකුල රිදම්ස්” සංගීත කාණ්ඩායමද බිහි වූයේ මෙම වකවානුවේදීය. ගුරුකුලය කලාවට තෝතැන්නකි. වරක් ගුවන් විදුලි වැඩසටහනක් මෙහෙයවීමට පැමිණි ප්‍රවීණ ගුවන්විදුලි නිවේදක ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතා එදා ගුරුකුලය හැඳින්වූයේ “හෙළ දිව කලා කෙත” යනුවෙනි. ගුරුකුලය එදා කලා ක්ෂේත්‍රයට දායද කළ අවයලුන් අතර හෙළ සිංහලයේ අග්‍රගණ්‍ය නිළි මාලනි ෆොන්සේකා, විමල් කුමාරද කොස්තා, පතිරාජ එල්. එස්. දයානන්ද, ප්‍රේමවීර ගුණසේකර, චිත්‍රපට අධ්‍යක්ෂ එච්. ඩී. ප්‍රේමරත්න, නෙතලි නානායක්කාර, ඒ. ඒ. විජේරත්න, මධුරාණි ප්‍රේමබන්ධු ආදි සිනමා ශිල්පීන් මෙන්ම, කුසුම් රේණු, රත්නා ලාලනි, නිල්මණි සිගේරා, පාලිත විජේසිංහ, තමරා දිල්රුක්ෂි, ශිරන්ත ප්‍රේමවර්ධන, ජානකි දිසානායක, ගිරිරාජ් කෞෂල්‍ය, මහේෂ් නිෂ්ශංක, අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි, නීලිකා මද්දුම, වැනි ප්‍රකට ගුවන් විදුලි හා රූපවාහිනි ශිල්පීන්, මෙම විද්‍යාලයෙන් රටට දායාද කළ කලා ශිල්පීන්ය. එවකට විද්‍යාලයේ සේවය කළ එඩ්වඩ් ජයකොඩි, මර්වින් පෙරේරා, ප්‍රියා සූරියසේන වැනි ගායකයන්ගෙන් හා ප්‍රවීණ ගීත රචක අමරසේන කංකානම්ගේ, නිවේදක සීලරත්න සෙනරත් මැතිතුමා වැන්නවුන්ගේ නොමඳ ආභාෂය, මේ සඳහා ලැබුණු බව කිව යුතුමය. අනෙකුත් ගුරු මණ්ඩලයේ සහයද මෙම කටයුතුවලට නොඅඩුව ලැබුණි. මේ පිටුපස සිටි ප්‍රබල හස්තය ඩී. ඒ. රාමනායක විදුහල්පති තුමාය. එම නිසා ඩී. ඒ. රාමනායක නාමයද ගුරුකුලය හා බැඳී පවතිනවා මිස කිසිදා ඈත් වී නොයයි. එහෙත් එතුමාද 1989 අග භාගයේ පමණ ලද උසස් වීමක් මත ගුරුකුලයේ විදුහල්පති ධුරයෙන් සමු ගත්තේය. ඉන්පසු විදුහල්පති ලෙස පත්ව ආ ආර්. පී. වී. ඒ. රාජපක්ෂ මහතාද පාසලේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළ අතර එතුමාගේ සමයේ විදුහල ජාතික පාසලක් බවටද පත්විය. එතුමාගෙන් පසුව විමල් ගුණරත්න මැතිතුමාත්, අනිල් ගීතලාල් අබේගුණවර්ධන මැතිතුමාත්, ආචාර්ය කුසල ප්‍රනාන්දු වත්මන් විදුහල්පතිතුමාත් මෙම ගෞරවනීය තනතුර හොබවමින් පාසල දියුණුවෙන් දියුණුව කරා රැගෙන යමින් සිටියි. අනිල් ගීතලාල් මැතිතුමා විසින් පාසලේ විනය හා අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීමට විශාල මෙහෙවරක් ඉටු කළ බව සිහිපත් කළ යුතුය. වත්මන් විදුහල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු මැතිතුමා ඉහළ අධ්‍යාපන සුදුසුකම් වලින් පරිපුන්, තරුණ විදුහල්පති වරයෙක් ලෙස විශාල වැඩ කොටසක් ඉටු කිරීමට අපේකෂාවෙන් සිටිති. විද්‍යාලයේ උන්නතියට නව සංකල්ප හඳුන්වා දෙමින් (Human Library) වැඩසටහන හා නායකත්ව පුහුණු වැඩසටහන් හඳුන්වා දි ඇත. Human Library වැඩසටහන යටතේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගෙන් සැදුම්ලත් විවිධ ක්ෂේත්‍රවල සිටින ප්‍රවීණයන් පාසලට කැඳවා ඔවුන්ගේ වෘත්තිය දැනුම හා අත්දැකීම් පාසල් දරුවන් අතර බෙදාගැනීමයි.

අභිමානවත් 75 වසර සමරන කැලණියේ ගුරුකුලය

ඒ අනුව 2023.06.25 වන දින විද්‍යාල පරිශ්‍රයේදී මෙම ලේ දන්දීමේ වැඩසටහන හා ආයුර්වේද වෛද්‍ය කඳවුරක් හා තෝරා ගත් පිරිස් වෙනුවෙන් ඇස් කණ්ණාඩි බෙදා දීමටද කටයුතු සංවිධානය කර ඇත. ඊට අමතරව 2023.06.29 වන දින දවස පුරා බටහිර වෛද්‍ය සායනයක්, විද්‍යාලයීය ආදි ශිෂ්‍ය විශේෂඥ වෛද්‍ය දීපාල් අත්තනායක මැතිතුමාගේ මෙහෙයවීමෙන් සිදු කිරීමට නියමිතව ඇති අතර 30 වෙනිදා රාත්‍රිය පුරා පිරිත් ධර්ම දේශනාව පැවැත්වෙන අතර පසුදා ජුලි 1 වන දින 100ක් නමකට සාංඝික දානය පිරිනමින් විද්‍යාලයේ ආරම්භය සනිටුහන් කළ විද්‍යාලංකාර ආදි යතිවරයාණන් වහන්සේලාටත්, විද්‍යාලය වෙනුවෙන් සේවය කර මිය ගොස් ඇති විදුහල්පතිවරුන් ඇතුළු ගුරුභවතුන්ටත්, විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් කැප වූ අප අතරින් වියෝ වූ ආදි ශිෂ්‍යයන් හටත් පිං අනුමෝදන් කිරීමට අපේක්ෂා කරමි.

ප්‍රියන්ත ලලිත් වගවත්ආරච්චි
සෞඛ්‍ය අමාත්‍යාංශය

advertistmentadvertistment
advertistmentadvertistment