වියළි ෂූටින් යන්න වෙන්නේ දුවත් අරගෙන
කාන්ති ශක්තිමත් ගැහැනියක්

කාන්ති තම ජීවිතය ගැටගසාගන්න මහපොළව සමග පොරබදන ගැහැනියක්. තමන්ගේ සැමියා පවුලක් වෙනුවෙන් බර කරගහන්නේ නැති හින්දාම ඇයට සිද්ධ වෙනවා ජීවත් වෙන්න නේක විධ රස්සාවල් කරන්න. හේන් කොටන්න. භව භෝග විකුණන්න වගේ දේවල් වගේම, ගමේම ඉන්න මිනිස්සුන්ට මත්වතුර පවා විකුණන්න. මේ හැමදෙයක්ම කරන්න සිද්ධ වෙන්නේ ජීවත් වෙන්න. හැබැයි ඇය තුළින් මේ සමාජයේ ජීවත්වන ගැහැනු ළඟ තියෙන ආදරය, කරුණාව, දයාව නැතිවාම නොවේ. ඉතින් මේ කාන්ති මේ දවස්වල අපිට මුණගැසෙන්නේ ජාතික නාළිකාව හරහා විකාශය වෙන වියළි ටෙලි නාට්‍ය හරහායි. සතියේ සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රි 8.30ට ජාතික නාළිකාව නැරඹුවොත් කාන්ති ඉස්සරහට මොනවද කරන්නේ කියලා දැනගන්න පුළුවන්. ඇත්තටම කවුද මේ කාන්ති. ඇය නමින් චන්දිමා කරුණාදාස. මේ ඇගේ අලුත්ම කතාවයි. ඉතින් කාන්ති ගැන දැනගන්න චන්දිමාගේ මේ කතාව කියවලා බලන්න.

මම දැන් අම්මා කෙනෙක්

චන්දිමා, වියළි ටෙලි නාට්‍යයේ කාන්තිට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?

මෙච්චර කල් මම රඟපෑ චරිතවලට වඩා වෙනස් චරිතයක්නේ කාන්ති කියන්නේ. ඉතින් ඒ චරිතයට මම පෞද්ගලිකව හිතුවාටත් වඩා වෙනස් විදිහේ ප්‍රතිචාර ලැබෙනවා.

වියළි පිටපත අතට ලැබෙනකොට ශාන්ති දිසානායකගේ ‘දඩමංකඩ’ නවකතාව කියවලා ද තිබුණේ?

ඔව්. මම කොහොමටත් ඉස්සර ඉඳලා නවකතා කියවනවා. මම මීට කලිනුත් ශාන්ති දිසානායකගේ නවකතාව ඇසුරින් නිර්මාණය වුණු ‘මහපොළව’ නාට්‍යයේ වැඩකටයුතු කළා. එතකොට ඒ නවකතාවත් මම කියවලා තිබුණේ. මට වියළි සඳහා ආරාධනාව ලැබුණට පසුවත් මම ආයෙමත් ‘දඩමංකඩ’ නවකතාව කියෙව්වා. ඉතින් මට හිතෙනවා වියළි නවකතාවට වඩා වෙනස්ම වූ මාවතක වෙනස්ම වූ අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලැබෙවි කියලා.

මම දැන් අම්මා කෙනෙක්

කාන්ති වෙනුවෙන් මොනවගේ කැපකිරීම් ද කරන්න සිද්ධ වුණේ?

වියළි නාට්‍යයේ රූගත කිරීම් සියල්ලම සිදුකළේ තිස්සමහාරාම ප්‍රදේශයේ. වියළි කාලගුණයක් තියෙන ප්‍රදේශයක් හින්දා හරි වෙහෙසකරයි. කොළඹ රූගත කරනවාට වඩා අත්දැකීම්වල වෙනසක් තියෙනවා. නමුත් අපේ නිෂ්පාදක කණ්ඩායම ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් සිදු කරනවා. මහ කැලයේ හේන්වල තමයි රූගත කිරීම් තියෙන්නේ. ඒ වෙනුවෙන් දැන් මට ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා.

මම දැන් අම්මා කෙනෙක්

මොකක් ද ඒ කැපකිරීම?

මෙහි මුල් රූගත කිරීම්වලට සම්බන්ධ වුණේ මීට අවුරුදු දෙකකට කලින්. දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා හින්දා මම දැන් අම්මා කෙනෙක්. මට මාස දෙකයි දවස් ගණනාවක පුංචි දුවෙක් ඉන්නවා. නුදුරේදීම වියළි රූගත කිරීම් ආරම්භ කරනවා. එතකොට තමයි ලොකුම කැපකිරීම සිද්ධ කරන්න වෙන්නේ. මොකද චූටි දෝණිව අරගෙන මම ෂූටින්වලට සම්බන්ධ වෙන්න ඕනෑ. මම දන්නේ නැහැ ඒක මොනවගේ අත්දැකීමක් වෙයි ද කියලා. නමුත් නාට්‍ය වෙනුවෙන් ඒ දේ මම සිද්ධ කරනවා.

මම දැන් අම්මා කෙනෙක්

අධ්‍යක්ෂවරයා කාන්ති ගැන මොනව ද කිව්වේ?

මේ ආරාධනාව ලැබෙනකොට මම පාරදිගේ ටෙලිනාට්‍ය රඟපාන්න හිටියේ. එයා කිව්වා කාන්ති කියන්නේ ඩාර්ලිං අක්කා වගේ චරිතයක් තමයි. හැබැයි අපි ඩාර්ලිං වගේ නොවී කාන්තිට ජීවය දෙන්න උත්සාහ කරමු කියලත් කිව්වා. කාන්තිට සාධාරණයක් ඉෂ්ට කරන්න, ඉරුගල් අයියා අපිට හොඳ නිදහසක් ලබාදෙනවා රූගත කිරීම්වලදී. චරිතය කරන්න නිදහස දෙනවා වගේම වැරැද්දක් තියෙනවා නම් හදනවා. මම මීට කලින් ඒක දැක්කේ ශිවා අයියාගෙන්. ඒ වගේම ඉරුගල් අයියත් ඒකට ලොකු අවස්ථාවක් දුන්නා. ඒකට මම ගරු කරනවා.

මේ වගේ කොටස් අඩු ප්‍රමාණයක ටෙලිනාට්‍යයක් භාරගැනීම ගැන මොකද හිතුණේ?

මම මුලින්ම වැඩ කළෙත් මෙගා නාට්‍යවල නෙමෙයි. ක්ෂේත්‍රයට ආවෙත් කොටස් අඩු ප්‍රමාණයේ ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙලා. ඒකට මම හරි කැමැතියි. නිර්මාණයක් හරි තැනකින් පටන් අරගෙන හොඳම තැනකින් ඉවර කරන්න ඕනෑ. ඒක ඇදි ඇදී යනකොට නිර්මාණයට කරන හානියක්. සමහර වෙලාවට ඒ නිර්මාණයට මුලින් අපිට තිබුණ කැපවීම නැති වෙන්නත් පුළුවන්. මම මෙගා නාට්‍ය අවතක්සේරුවට ලක්කරනවා නෙමෙයි. කොටස් අඩු නාට්‍යවලට මම පෞද්ගලිකවම කැමැතියි.

කාන්ති වගේ චරිත ඔබට මුණගැසිලා තිබෙනවා ද?

කාන්ති කියන්නේ ශක්තිමත්, ඕනෑම වැඩක් කරන්න පුළුවන් ගැහැනියක්. මොකද මමත් ගම්බද ප්‍රදේශයක හැදුණු ගැහැනු කෙනෙක්. මගේ ගමෙත් මම එහෙම අය දැකලා තියෙනවා. ඔය තියෙන සියලුම ගති ලක්ෂණ කැටිවුණු එක චරිතයක් කියලා නැහැ. ඒ ගති ලක්ෂණ වෙන වෙනම අන්තර්ගත වුණු කාන්තාවෝ මම දැකලා තියෙනවා.

කාන්ති ගැන සැමියා මොනව ද කියන්නේ?

සමහර වෙලාවට නාට්‍ය බලනකොට එයයි මායි වෙනමම බලනවනේ. ඒකට හේතුව මම කැමැතියි මම රඟදක්වපු එකක් මම තනියම බලන්න. මම ඒ රංගනය හරියට කළා ද කියලා නැවත හිතන්න කැමැතියි.

සැමියාගෙන් ලැබෙන සහයෝගය තමයි එයා ඒක වෙනමම බලලා ඒකේ ගුණදොස් මට කියනවා. අනික එයත් මම වගේම නාට්‍ය හා රංගකලාව පිළිබඳ උපාධිධාරියෙක්. ඒ හින්දා එයාටත් තේරෙනවා. වේදිකාව සමග එයත් ගනුදෙනු කරලා තියෙනවා. සැමියාගෙන් ලොකු සහයෝගයක් ලැබනෙවා.

පාරදිගේ ඩාර්ලිං අක්කා ජීවිතයේ මොනවගේ වෙනසක් ද ඇති කළේ?

ඩාර්ලිං අක්කා තමයි මම රඟදක්වපු චරිතවලින් වැඩිපුරම ප්‍රතිචාර ලැබුණු චරිතය. මේ නාට්‍ය අවසන් වෙලා ගොඩක් කාලයක් ගතවෙලා. අදටත් ගොඩදෙනෙක් මට කතා කරන්නේ ඩාර්ලිං කියලා. මම මුලින් නම් ඒ චරිතයට එච්චර ලොකු ප්‍රතිචාරයක් ලැබේවි කියලා හිතුවේ නැහැ. නමුත් මම හිතුවාටත් වඩා සියදහස් ගුණයකින් ඉතා හොඳ ප්‍රතිචාර හම්බවුණා. ගොඩක් දේවල් ඉගෙනගත්ත ලොකු ආදරයක් ලබපු චරිතයක් තමයි ඩාර්ලිං.

අම්මා කෙනෙක් වුණු හින්දා රංගනයට විරාමයක් ලබාදුන්නා ද?

මාස හය වෙනකම් මම එක දිගට රංගනයේ යෙදුණා. ඊට පස්සේ දරුවා හම්බවෙන්න සතියක් වෙනකම් රඟපෑමට සම්බන්ධ වුණා. දැන් නම් බබා පුංචි හින්දා මාස දෙක තුනක වගේ කාලයක් රංගනයට සම්බන්ධ වුණේ නැහැ. නමුත් මේ මාසයේ අන්තිම වියළි නාට්‍යයත් එක්ක ආපසු මගේ සුපුරුදු රංගන ජීවිතය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සර්කස්කාරයෝ ටෙලිනාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. ඉදිරියේදී ඒකටත් සම්බන්ධ වෙනවා.

ඉස්සරහට පුංචි බබාත් චන්දිමා එක්ක ෂූටින් යනවා එහෙමද?

ඔව්. තවම බබා පුංචියි. මෙයා ටිකක් ලොකු වෙනකම් ඒක කරන්න සිද්ධ වෙනවා. මම හැමදේම බැලන්ස් කරගන්න ඕනෑ. එහෙම ෂූටින් වැටෙනකොට මම ඒ ගොල්ලන්ට කියනවා මට එන්න වෙන්නේ බබත් එක්ක, දාලා එන්න විදිහක් නැහැ කියලා. දැන් ඉතින් බබාවත් අරගෙන තමයි ෂූටින් යන්නේ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment