2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ඉකුත් නොවැ. 27 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී සාහිත්‍ය කලා ක්ෂේත්‍රය උදෙසා විවිධ සම්ප්‍රදානයන් කළ විද්වතුන් මෙන්ම ගිය වසරේ (2023) සාහිත්‍ය නිර්මාණ කාර්යයෙහි නිරත වූවෝ ද බුහුමනට පාත්‍ර වූහ. මෙය වාර්ෂිකව සිදුකෙරෙන සද්කාර්යක් ලෙස බහුතර පිරිසක් විසින් ද පිළිගනු ලබන්නකි. එසේම එහිදී ඇගැයුමකට පාත්‍ර වියයුතු ඇතැම් නිර්මාණකරුවන් පිළිබඳව නොතකා හැරීම් ද අනන්තවත් සිදුවී තිබේ. සාහිත්‍යකරුවා වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් සිදුකෙරෙන එකම ඇගයුම වන්නේ ද මෙම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයයි. ඒ සඳහා නිසි මැදිහත්වීම් කරනු ලබන්නේ පවතින ආණ්ඩුවේ අනුමැතියට යටත්ව පත්වන සාහිත්‍ය මණ්ඩලය/ සාහිත්‍ය අනුමණ්ඩලය විසිනි. මෙවර එකී කාර්යභාරය පැවරී තිබුණේ රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවටය. අපගේ අවබෝධය වන්නේ එයින් ඉටු වන්නේ ද ඉහත නමින් සඳහන් වූ මණ්ඩල විසින් කරන ලද කාර්යන්ම බවය.
මහාචාර්ය සුචරිත ගම්ලත් සූරීහු මෙරටේ සාහිත්‍ය කලා, මතු නොව ශාස්ත්‍රීය හා බුද්ධිමය ක්ෂේත්‍රවල ද ප්‍රමුඛයන් අතර සිටි පඬිවරයකු ලෙස සුදිලෙති. එනිසාම ඔවුන්ගේ අදහසක් පළමුවෙන්ම උපුටා දක්වමු.
“පසුගිය ආණ්ඩු විසින් පත් කෙරුණු අනුමණ්ඩල, විනිශ්චය මණ්ඩල ආදියේ සිටියෝත් මේ ආණ්ඩුව පත්කළ ඒවායේ සිටින්නෝත් එකම පුද්ගලයෝය. නිලධාරීනුත් බොහෝ සෙයින් එකම පුද්ගලයෝය. පරණ ආණ්ඩුව යටතේ ආරක්ෂක අමාත්‍යාංශයේ සිටි පුද්ගලයා දැන් මේ ආණ්ඩුව යටතේ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්ය. කඩුව අතහැර පෑන අතට ගැනීමේ කවර වරදෙක්ද? මේ ආණ්ඩුවේ නියෝජ්‍ය සංස්කෘතික ඇමැතිවරයාත් පෙර ආණ්ඩු යටතේ නොයෙක් මණ්ඩලවල ප්‍රධානත්වය දැරූ කෙනෙකි.
මෙහි තේරුම කුමක්ද? කොයි ආණ්ඩුවටත්, කෝකටත් කවුරුත් එකය. හැබැයි මණ්ඩලවලට පත් කිරීමට පෙර කොයි ආණ්ඩුවටත් එකම සුදුසුකමක් අවශ්‍යය. එනම් පත් කරනු ලබන පුද්ගලයා සුවචව, කීකරුව තමාට සේවය කරයි යන සහතිකය පමණි.”
(සති සිතුමිණි – 1 – 2006)
මහාචාර්ය ගම්ලතුන්ගේ මෙම නිරීක්ෂණ නිවැරදිය. වෘත්තීය පුවත්පත් කලාවේදියකු ලෙස සිටි සමයෙහි මේ සත්‍යය අපට ද දැකගත හැකි වූවකි. වර්තමාන සාහිත්‍ය උපදේශක සභාවේ සභාපති රඹුකන සිද්ධාර්ථ හිමියන් කවුරුන් විසින් පත්කරන ලද්දේදැයි නොදන්නා නමුත් එම ධුරයට උන්වහන්සේ ඉතා සුදුසු කීර්තිමත් සාහිත්‍ය කලා නිර්මාණ භූමිකාවක පුරෝගාමි හිමි නමක් බව අපගේ අදහසය. අන් අය ගැන අපට දැනුමක් නැත. එහි ආචාර්ය, මහාචාර්ය, ජනමාධ්‍ය යනාදී ක්ෂේත්‍රවල අය සිටිතියි ද වාර්තා විය. එසේ වුවද මේ ලියුම්කරු ගැන රඹුකන හිමියන් හැර ඒ කිසිදු අයෙක් දනිත්දැයි ද කිව නොහැක. ඒ වියත්හු අප වැනි අය දෙස සාවඥව බලන්නෝ බවද අපගේ අදහසය. මක්නිසාද යත්? ඔවුන් අප නමින්වත් නොදන්නා බව වරක් රඹුකන හිමියන්ගේ ඇරැයුමකින් ඒ සභාවට පැමිණි අවස්ථාවක තහවුරු විය. එය වෙනම කතාවකි.
කෙසේ හෝ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ඇතැම් ක්‍රියාකාරකම් විවේචනයට ලක් කළ අයකු වීම නිසා සංස්කෘතික බලධාරීහු අප ඔවුන්ගේ පසමිතුරකු ලෙස සලකති. එනිසාම රාජ්‍ය සාහිත්‍ය උළෙලට සහභාගි වීමට අපට ඇරැයුම් නොකිරීම ද අමුත්තක් නොවේ. මහාචාර්ය ගම්ලතුන්ට මෙන්ම අපට තිබෙන විවේචනය වන්නේ මේ මණ්ඩල/ උපදේශක සභාවල එකම කාර්ය මෙම සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයට සීමාවීමය. වැඩිම වුවොත් සාහිත්‍ය පිළිබඳ මාසික දේශනයක් ද සිදුකෙරේ. එහෙත් සාහිත්‍ය උපදේශක යන හැඳින්වීම අනුව නම් මේ සභාවේ කාර්ය වඩාත් පුළුල් එකක් වුවමනාය. සාහිත්‍යකරුවාට, ඔහුගේ නිර්මාණ කාර්යභාරයට ඔවුහු දිරිදිය යුතු වෙති. එහෙත් එබඳු සද්කාර්යක් මේවායින් ඉටුව තිබේද?
බොහෝවිට මේ සභා නියෝජනයට එක් සුදුසුකමක් වන්නේ ඒ ඒ අයගේ සහතික, උගත්කම් බවද පෙනේ. කිසියම් ක්ෂේත්‍රයක ආචාර්ය මහාචාර්යවරයකු වීමේ පදනම විනා ඔවුන් විසින් සාහිත්‍ය කලා ක්ෂේත්‍රවලට අදාළව ලියන ලද හෝ සංවාද – වාද විවාද මැදිහත්වීම් පිළිබඳව තොරතුරු නැත. මේ උපදේශක මණ්ඩලයේ සිටින ආචාර්ය මහාචාර්ය වැඩිදෙනෙක් මවිසින් දශක දෙකකටත් වඩා ඒ ක්ෂේත්‍රය සම්බන්ධව ලියූ කිසිවක් ගැන නොදත්තෝය. මවිසින් පළ කරන ලද අදහස් දේවභාෂිත නොවේ. එහෙත් ඒවා මෙරටේ සාහිත්‍ය කලා නිර්මාණකරුවන්ගේ මෙන්ම පොදු පාඨකයාගේ ද අවධානයට ලක්වූ දේවල්ය.
ප්‍රකට සාහිත්‍යධරයකු මෙන්ම කවියකු ද වන රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ‘වස්සානේ’ නමැති කාව්‍ය සංග්‍රහය එවක පැවති සාහිත්‍ය අනුමණ්ඩලය නොතකා හැර තිබුණි. ඒ පිළිබඳව අප ලියූ සටහන කියවූ විජමු ලොකුබණ්ඩාර (ඔහු සංස්කෘත ඇමැතිවරයා විය) ඊළඟ වසරේ ‘පොත’ සම්මාන සඳහා යොදා ගැනීමට උපදෙසක් දුන්නේය. පොත යළිත් විමර්ශනයට යැවිණි. එය හොඳම කාව්‍ය සංග්‍රහයක් ලෙස නිර්දේශ විය. එහෙත් එකල මණ්ඩලයේ සභාපතිව සිටි මහාචාර්ය මිණිවන් පී. තිලකරත්න එයට සම්මාන දීමට විරුද්ධ විය. මෙය ඇමැතිවරයා හා මහාචාර්යවරයා අතර මතභේදයකට ද තුඩු දුන් කරුණක් විය. මෙහිදී තවත් පුදුමාකාර දෙයක් ද සිදුවිය. ඒ වනවිට රත්න ශ්‍රී කැලණිය සරසවියෙහි ශාස්ත්‍රපති උපාධි පර්යේෂණ කටයුතු කරමින් සිටියේය. මහාචාර්ය මිණිවන් පී. ඔහුගේ එක් අධීක්ෂණ ආචාර්යවරයෙකි. මේ ප්‍රශ්නය නිසා ඔහු රත්න ශ්‍රී ගේ ඒ කටයුතු නිරීක්ෂණයෙන් ද ඉවත්ව ඇත. මේවාට අදත් රත්න ශ්‍රී සාක්ෂි දරනු ඇතැයි මම කල්පනා කරමි.
මේවා මෙම උපදේශක හෝ මණ්ඩලවල සිටින ඇතැම් සාහිත්‍ය කලා සළු පොරවා ගත්තකුගේ ක්‍රියා විය හැකිය. එහෙත් එයින් වන විනාශය සුළුපටු නැත. මෙවර ද මෙබඳු සිදුවීම් වූ බවට මට වාර්තා ලැබී තිබේ. ප්‍රකට සිනමා විචාරක ගාමිණි වේරගම ලියූ ‘දේශීය සිනමා වංශය’ මෙවර සම්මාන ප්‍රදානයට සලකා බලාවත් නැත. මේ මණ්ඩල නිසා වැජඹෙන ඇතැම් සාහිත්‍ය ගහලයකුට මේවා වීර ක්‍රියා විය හැකිය. එසේම විවිධ විෂය යටතේ පොත් සමීක්ෂණය කළ අයකු විසින් නම් කරන ලද පොත් වෙනුවට වෙනත් පොත් කීපයක් තෝරා ගැනීමේ සිදුවීමක් ද වාර්තා විය. හඳරාගම නම් සමීක්ෂකයකු ඒ පිළිබඳව මුහුණුපොතක සඳහන් කළ පුවතක් ද රත්න ශ්‍රී කවියාණෝ මට කීහ. මෙයට පෙර මවිසින් ලියන ලද පේරාදෙණිවාද මුසාවාද හා අවලාද නමැති කෘතියකට ද මේ උපදේශක මණ්ඩලය එබඳුම ප්‍රතිචාරයක් දැක්වූ බවද මෙහිලා සඳහන් කළ යුතුය. එහෙත් ඒ කිසිවකින් ඔවුන්ට තබා ඇමැතිවරයාට වුවද අප හීලෑකරගත නොහැක.
සාහිත්‍ය බලධාරීන් ලෙස ඇමැතිවරයා ප්‍රමුඛ නිලධාරීහු සිටිත්ද? ඒවා සමීක්ෂකයන් ලෙස කවරහු සිටිත්ද? සම්මාන සඳහා සලකා බැලෙන කෘති පළමු වටයේ තේරීම සාහිත්‍ය උපදේශක සභාව විසින් කරනු ලබන්නක් ද යනාදි ප්‍රශ්න ද මෙහිදී නැඟිය හැකිය. එසේ නම් සාහිත්‍යකරුවා – නිර්මාණකරුවා යනු මරණ තුනක් පෙනි පෙනී පැණි කන අයෙක් නොවේද? මෙසේ සාහිත්‍ය කෘතිය මෙන්ම නිර්මාණකරුවා ද අසිපත් ගත් කණ්ඩායම් තුනකින් බේරිය යුතු නොවෙත් ද? රාජ්‍ය සම්මානය සඳහා නිර්දේශිත කෘති තෝරාගන්නා ආකාරය මෙන්ම ඒ ඒ භූමිකා භාරව සිටින පුද්ගලයෝ කවරහුදැයි දන්නා අය සිටිත් ද? සාහිත්‍ය සමීක්ෂණය යනු සා අගින් පනා කැපීමක් නොවේ, හෙවත් නැත්තෙන් ඇත්ත මැවීමක් නොවේ. එහෙත් සිදුවන්නේ එයම නොවේද?
සාහිත්‍ය කෘතියක් විනිශ්චය යුන බැරූරුම් අභියෝගයකි. ඒ සඳහා එම ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තිබිය යුතුය. නිර්මාණ පරිශීලනයෙන් සියුම් වූ රසඥතාවක් තිබිය යුතුය. විවිධ නිර්මාණ හැදෑරීමෙන්, සැසඳීමෙන් පිරිපුන් කෙනකුට ඒ කෘතියට සාධාරණය ඉටු කළ හැකිය. විවිධ සාහිත්‍ය නිර්මාණ විවේක බුද්ධියෙන් කියවූවෝ ඒවායින් ස්වකීය ඥානමණ්ඩල පුළුල් කරගත්තෝ අද නොවෙතියි කිව නොහැක. එහෙත් එබඳු බලසම්පන්නයන් ප්‍රාමාණිකයන් ඈත් වූ විදූෂකයන්ට පිනුම් ගැසිය හැකි ස්ථානයක් බවට සාහිත්‍ය විනිශ්චය සභා පත් වී තිබෙන බව මේ ඉතිහාසය යළි යළිත් අපට තහවුරු කර තිබේ.
විදුදය සාහිත්‍ය උළෙල හෝ ස්වර්ණ පුස්තක උළෙල ඇතුළු එබඳු සම්මාන ප්‍රදානවල තිබෙන විනිවිද භාවය රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේදී දැකගත නොහැක. ඇතැම් හණමිටිකාර ගතානුගතික විනිශ්චය කෝවක කිසියම් නිර්මාණයක් බහා ලබාදෙන විනිශ්චය සාහිත්‍යකරුවාට සිදුකරන්නේ විනාශයකි. මහාචාර්ය ගම්ලත් විමසූ පරිදිම මේ කාර්ය අගතියකින් තොරව සිදුවිය යුත්තකි. සම්මාන ප්‍රදානයකින් පසු ඒ ක්‍රියාදාමය සිදුවූ ආකාරය ද ප්‍රසිද්ධියට පත් විය යුතුය. වසරේ හොඳම නවකතාව, හොඳම කවි එකතුව, හොඳම නිර්මාණ පිළිබඳ විවිධ අදහස් තිබුණත් ඒ නිර්දේශ කෘති පිළිබඳ පොදු එකඟතා තිබෙන බව මේ සම්මාන උත්සවවලින් පසුව සිදුකෙරෙන සංවාදවලින් ද තහවුරු වේ.
ගාමිණි වේරගමගේ ‘දේශීය සිනමා වංශය’ ග්‍රන්ථ මාලාවේ ග්‍රන්ථ දෙකක් මෙයට පෙර සම්මාන සඳහා නිර්දේශ විය. මෙවර ග්‍රන්ථය ද විදුදය සාහිත්‍ය උළෙලේ නිර්දේශ වූවකි. එහෙත් රාජ්‍ය සාහිත්‍ය සම්මානයට එය සලකා නොබැලුවේ ඇයි? යන්න දැඩි විමතියකි. නිසැකයෙන්ම වේරගම විසින් ශ්‍රී ලාංකික සිනමාව අරඹයා සිදුකරනු ලබන අග්‍ර ගණයේ සම්ප්‍රදායක් ලෙස එම කෘතිය හැඳින්විය යුතුය. අසූව දශකයේ සමාජ, ආර්ථික, සංස්කෘතිය සමග සිනමාව ඇතුළු සෙසු කලාවන්හි ආරම්භය, ව්‍යාප්තිය මෙන්ම ප්‍රේක්ෂක හා රසික ප්‍රතිචාර ද ‘සිනමා වංශය’ අප අබියස විචිත්‍රව දක්වයි. මේ නිලබල ලෙළ වූ උපදේශක සභාව ඒ කෘතියට දැක්වූ ප්‍රතිචාරය මෙරටේ සිනමා රසිකයන් පමණක් නොව පොදු පාඨකයෝ ද හෙළා දකිති. සිනමාව පිළිබඳ පර්යේෂණ කරන විද්වතුන්ට එබඳු මහාසාර ග්‍රන්ථ මෙරටේ නැත. පොත කියවන විද්වත් පාඨකයකුට හැඟෙන්නේ ඒ කතුවරයා මොනරම් දුෂ්කර ක්‍රියාවක නිරත වන්ට ඇද්ද යනුයි. එසේම එහි සාරඵලය සිනමා වංශයට අගනා ප්‍රාග්ධන ආයෝජනයක් ද වන බවය.
ඇත්ත වශයෙන්ම සාහිත්‍යකරුවන්ට අනුග්‍රහය දැක්වීම යනු හුදු වාර්ෂිකව සිදුකෙරෙන සම්මාන ප්‍රදානය පමණක් නොවන බව මේ පිළිබඳව අප විසින් ද අප්‍රමාණ වාර ගණනාවකදී සඳහන් කර ඇත. කුමක් වුවත් රාජ්‍ය සම්මාන ප්‍රදානය මෙරටේ සෑහෙන පිරිසකගේ විවේචනයට ලක්වන්නකි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රකට නාට්‍යකරුවකු මෙන්ම ගීත රචකයකු ද වන ලූෂන් බුලත්සිංහලට අනුව මෙම සම්මාන උළෙලම මෙරටේ ජාතික කලා අභිවර්ධනයට වඩා එහි විනාශයට හේතු වූවකි. මෙමගින් ප්‍රදර්ශනය වන්නේ මෙරටේ කලා විනිශ්චයෙහි විෂමතා පමණක් නොව ජාතික වශයෙන් අපගේ ගෝත්‍රික හා දුබලතා පමණක් බවට ඔහු චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කරයි. ඔහුගේ ‘මිනිසා බලා සිටී’ නමැති ගීත සංග්‍රහයට දැක්වූ ප්‍රතිචාරය ද ඔහු අවධාරණය කළේය. ඔහුට ගීත රචකයකු ලෙස ඇගැයුමක් ලැබුණේ විදුදය සාහිත්‍ය උළෙලේදී බවත් ඔහු පැවැසීය.
මෙයට පෙර ද සඳහන් කළ පරිදි කිසියම් නිර්මාණයක හොඳ නරක වුවද නිශ්චිතව පැවසිය නොහැක. එය රසඥතාව, ජීවන අත්දැකීම් හා භාෂා සාහිත්‍ය ඥානය ආදිය අනුව වෙනස් විය හැකිය. 2024 හොඳම නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානය හා ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත්තේ ‘කැමෙලියා (විරාජිනි තෙන්නකෝන්) කෘතියයි. එහෙත් විදුදය සම්මානය ‘තිවංක කතාවට’ (එරික් ඉලයප්පාරච්චි) හිමිවිය. හොඳම කාව්‍ය සංග්‍රහය ලෙස සම්මාන උළෙලවල් තුනකදී වෙන් වෙන් කෘති නිර්දේශ විය. මෙය ස්වාභාවිකව සිදුවිය හැකි දෙයකි. රසඥතාව, සමීක්ෂකයාගේ රුචිය ද ඒවාට බලපානු ඇත. එහෙත් පොදුවේ මේ නිර්මාණ වසරේ හොඳ යන සීමාවට පැමිණිය යුතුය.
තවත් අප්‍රමාණව කරුණු සඳහන් කළත් ඒවා මේ මණ්ඩල හෝ අදාළ බලධාරීන්ගේ දුබලතා, පක්ෂග්‍රාහී පටු මානසිකත්වයට සාක්ෂි පමණි. මේ සියල්ල වෙනස් කිරීමට දැන් වඩාත් උචිත පසුබිමක් සැකසී තිබෙන බව පෙනේ. අභිනව සංස්කෘතික ඇමැතිවරයා වන හිනිදුම සුනිල් සෙනෙවි ඒ ක්ෂේත්‍රයට අදාළ වූ මහාචාර්යවරයෙක් ද වේ. අප පෞද්ගලිකව නොහඳුනන නමුත් ඔවුන්ගේ ඇතැම් සිනමා කලා මැදිහත්වීම් ගැන ද අපි දනිමු. මහා සිනමාව කියවීම නමින් ඔහු සිනමා කලා ක්ෂේත්‍රයට කළ ප්‍රදානය ද මට සිහිපත් වේ. විචාරක හිඩැස ඒ ක්ෂේත්‍රයට බලපෑම් කරන බවද ඔහු එම කෘතියෙහි සඳහන් කර තිබුණි. සාහිත්‍ය සිනමාවට වෙනස්ය. කලකට පෙර මහාචාර්ය ඒ.වී. සුරවීර ද මෙම කලා ක්ෂේත්‍රයට බලපෑම් කළ හැකි සංස්කෘතික නියෝජ්‍ය ඇමැති ධුරයක් ද හෙබවිය. එහෙත් අදත් සිදුවන්නේ එදා සිටම වුණු දෙයමය. නිලබල තනතුරු වෙනස් වී ඇත. සාධනීය වෙනසක් සිදුව නැත. මේ අලුත් ඇමැතිවරයා දෙසත් අපේ ඇස් යොමු කරමු.
ගාමිණි සුමනසේකර