මරණ දෙකක් සහ තහනම් වායු එකක්

679

අපරීක්‍ෂාකාරීත්වය සහ මහජන ආරක්‍ෂාව ගැන සැලකිල්ලක් නැතිකම යන සාධක නිසා මනුෂ්‍ය ඝාතන සිදුවීම පිළිබඳව ඉතා අවසනාවන්ත කතාවක් අද මේ තීරුව ඔස්සේ විග්‍රහ කරනු ලැබේ. මීට දින කීපයකට පෙර ලංකාවට පැමිණි විදේශික කාන්තාවන් දෙදෙනෙක් සහ විදේශික පිරිමියෙක් කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ ලැගුම්හලක එක කාමරයේ නවාතැන් ගත්හ. මෙහිදී ගැහැනුන් දෙදෙනකු සහ එක පිරිමියෙක් තනි හෝටල් කාමරයක නවාතැන් ගැනීම ගැන වනචර ලෙස සිතීමෙන් වැළකිය යුතුය. සාමාන්‍යයෙන් විදේශිකයෝ සංචාරයේ යෙදීමේ දී ඩබල් රූම් සහ ටි්‍රබල් රූම් ලෙස හැඳින්වෙන වඩා ඉඩ පහසුකම් ඇති කාමරවල නවාතැන් ගනිති. මුහන්දිරම් පාරේ ලැගුම්හලෙහි කාමරයක් ගෙන නවාතැන් ගත් පෙර කී විදේශිකයන් තිදෙනා පැය 24ක් ඇතුළත රෝහල්ගත කිරීමට සිදුවිය. ඒ ඔවුනට හුස්ම ගැනීමට බැරි වූ නිසාය. ශ්වසන අපහසුතාවක් යනු මරුකැඳවන ක්‍රියාවකි. රෝහලට ඇතුළත් කර ස්වල්ප වේලාවකින් එක් විදේශීය කාන්තාවක් මිය ගියාය. ඊට පසු දෙවැනි විදේශීය කාන්තාව ද මිය ගියාය. මේ වන විට ඉතිරිව සිටින්නේ සංචාරක පිරිමියා පමණි. ඔහුට ජීවත්වීමට වාසනාව ලැබේවා!

පසුව සොයා බලන විට දැන ගැනීමට ලැබුණේ ඉහත සඳහන් සංචාරකයන් තිදෙනා ලැගුම්ගත් කාමරයෙහි සිටින කෘමීන් විනාශ කිරීම සඳහා ඊට දින කිහිපයකට පෙර එම කාමරයට Phosphine නමැති විෂ වායුව පොම්ප කරන ලද බවයි. ෆොස්ෆයින් යනු අතිෂයින් මාරක විෂ වායුවකි. මේ විෂ වායුව කාමරවලට පොම්ප කර එම කාමර දින තුනක් වසා තබනු ලැබේ. ඉන් පසු එම කාමර විවෘත කර පිරිසිදු කර සංචාරකයන්ට ලබාදීම සාමාන්‍ය ලැගුම්හල්වල සිරිත වේ. එහෙත් ෆොස්ෆයින් යන මාරක විෂ වායුව වර්තමානයේ දී හෝටල්වල කෘමිනාශක කටයුතු සඳහා යොදා ගන්නේ නැත. එයට හේතුව ෆොස්ෆයින් වායුව ආඝ්‍රාණය කළ සැණින් ශ්වාසනාලය ඉදිමීමට පටන් ගැනීමය. ඉන් පසු පෙනහලු ද ඉදිමෙයි. මෙය සමාන වන්නේ උග්‍ර ඇදුම රෝග අවස්ථාවකට පත්වන පුද්ගලයකු මුහුණ දෙන තත්ත්වයටය. ඇදුම රෝගයේ දී ක්‍ෂණික ප්‍රතිකාරවලින් සහනයක් ලබාගත හැකි වුවද ෆොස්ෆයින් ආඝ්‍රාණය කළ විට මාරයාගෙන් කිසිම චාන්ස් එකක් නැත.

මෙහිදී ෆොස්ෆයින් විෂ වායුව ගැන තවදුරටත් විස්තර කරමු. මේ වායුව මුලින්ම සොයා ගන්නා ලද්දේ 1783 දීය. සොයාගත් අලුත දී කෘමිනාශක කටයුතු සඳහා මේ වායුව යොදාගත්ත ද එහි ඇති වහා ගිනිගන්නාසුලු ස්වරූපය නිසා ගෘහස්ථ පාවිච්චිය සඳහා එය යොදාගැනීම මීට අවුරුදු 300 කට පෙරම අත්හැර දමන ලදී. ආවරණය වූ ස්ථානයකට ෆොස්ෆයින් ගැසීමෙන් පසු එම ස්ථානය දින තුනක් වසා තැබිය යුතුය. එවිට එම කාමරයේ සිටින කෘමීහු සියලු දෙනා පරලෝකප්‍රාප්ත වෙති. හතරවන දවසේ දී කාමරයේ ජනෙල් විවර කර විෂ වායුවේ ශේෂ වූ කොටස් එළියට මුදාහැරීම සිදුවෙයි. පස්වන දිනයේ දී කාමරයේ දොරවල් විවෘත කර තවත් දින තුනක් තැබිය යුතුය. මේ කාලය අතරතුරදී කිසිදු ආකාරයකින් කාමරය පරිහරණය නොකළ යුතුය. අපට දැන ගැනීමට ඇති පරිදි විදේශිකයන් තුන්දෙනාට කාමරය කුලියට දෙන විටත් ෆොස්ෆයින් වායුව කාමරය තුළ තිබී ඇත. මෙහිදී සොයා බැලිය යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ ලැගුම්හල්වල කෘමිනාශක කටයුතු සඳහා ෆොස්ෆයින් යොදාගැනීම කවරකු විසින් සිදු කරන්නේ ද යන්නයි. මන්ද කෘමිනාශක කටයුතු සඳහා හෝටල්කාරයන් ෆොස්ෆයින් දිගින් දිගටම පාවිච්චි කළොත් තවදුරටත් සංචාරකයන් හෝ කාමර කුලියට ගන්නා ස්වදේශික ජනතාව මිය යෑමට ඉඩ ඇති බැවිනි. කෘමීන් නැසීම සඳහා ෆොස්ෆයින් පාවිච්චි කිරීම සමාන වන්නේ මීයන් මැරීම සඳහා පොටෑසියම් සයනයිඩ් පාවිච්චි කිරීමටය. සයනයිඩ් යනු අල්පෙනිති තුඩක ප්‍රමාණයක් ශරීරගත වූ විට මැරී වැටෙන විසකි. ඒ නිසා මීයන් මැරීම සඳහා පාවිච්චි කරන්නේ සයනයිඩ්වලින් දහසකින් එක් ප්‍රමාණයක්වත් බලවත් නැති ආසනික් වැනි සරල විසකි. මෙහිදී මීයන් මැරීම ඉතා බරපතළ පාපයක් බව සඳහන් කරමු. මීයා මී පාසානම් කෑ විට අධික දුකක් විඳ මරණයට පත්වෙයි. ලංකාවේ ජනතාවට වස විස පිළිබඳ ඒ තරම් ලොකු දැනීමක් නැත. වැඩේ කෙරෙනවා නම් ඕනෑම විස වර්ගයක් සමග ගනුදෙනු කිරීමට මේ රටේ සිටින මිනිස්සු සූදානම්ය. කසිප්පුවලට යූරියා දමන්නේ එම නොදැනීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ දී සංචාරකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳ දැනුවත්වීම වැදගත් වේ. ලැගුම්හලක කාමරයක ෆොස්ෆයින් වායුව තිබුණු බවට ලොව පුරා ආරංචියක් පැතිර ගියොත් මේ රටට එන සංචාරකයන් හෝටල් කාමරවලට නොගොස් දුම්රියපළවල්වල සහ ගෝල්ෆේස් පිට්ටනියෙහි රාත්‍රි කාලය ගත කිරීමට සූදානම් වනවා ඇත. හෝටල් කාමරවලට ෆොස්ෆයින් යෙදීම කාගේ නිර්දේශයක් මත සිදුවී ද යන්න සොයා බැලිය යුතුය.


advertistmentadvertistment