මරණ සහතිකයවත් නැතුව ඡන්දය එපා කිව් පෙත්සමට ආදේශකයකු ඉල්ලීම හරිද?

48

ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට පෙන්වා දෙයි

පෙත්සම්කරු මරණයට පත්වී ඇති බැවින් ඔහු වෙනුවට වෙනත් ආදේශකයකු ඉදිරිපත් කර පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා සිටියත් පෙත්සම්කරු මියගිය බව සනාථ කිරීමට අවශ්‍ය මරණ සහතිකය ඇතුළු ලේඛන ඉදිරිපත් නොකර එවැනි ඉල්ලීමක් කිරීම ගැටලු සහගත වන්නේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10දා) පෙත්සම්කාර පාර්ශ්වයට පෙන්වා දුන්නේය.

රට ආර්ථික ආගාධයකට ඇදවැටී ඇති වකවානුවක පළාත් පාලන මැතිවරණය නොපවත්වන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා මියගොස් ඇති බැවින් ඔහු වෙනුවට වෙනත් අයකු ආදේශ කර පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබාදෙන ලෙසට එම පෙත්සම්කරුගේ නීතිඥවරයා කර තිබූ ඉල්ලීමක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස පෙන්වා දුන්නේය.

ප්‍රථමයෙන් පෙත්සම්කරුගේ මරණ සහතිකය අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසටත්, එකී ලේඛන සලකා බලා සුදුසු නියෝගයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවටත් පෙත්සම්කාර පාර්ශ්වයට පැවැසූ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය එම පෙත්සම ලබන නොවැම්බර් 19 වැනිදා යළි කැඳවීමට දින නියම කළාය.

මුර්දු ප්‍රනාන්දු, කුමුදුනි වික්‍රමසිංහ හා ජනත් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේදී එම පෙත්සම කැඳවිණි. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ කීර්ති තිලකරත්න මහතා සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා පෙනී සිටියහ.

2023 මාර්තු 9 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණය නොපවත්වන ලෙස පෙත්සම්කාර විශ්‍රාමික කර්නල්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment