සුජීව රාජපක්ෂ සභාපති මහජන බැංකුව (ව) / ක්ලයිව් ෆොන්සේකා ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි මහජන බැංකුව (ද)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වන මහජන බැංකුව 2024 මාර්තු 31 න් අවසන් වූ පළමු කාර්තුවේ සිය මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව බැංකුව සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 20.4 ක් සහ බදු පසු ලාභය රුපියල් බිලියන 2.5 ක් ලෙස වාර්තා කළේය. වත්මන් සාර්ව-ආර්ථික තත්ත්වයන් වඩා විචක්ෂණශීලීව සැලකිල්ලට ගනිමින් කරන ලද සුවිශේෂී ගැලපීම්වල බලපෑම හැර, සාමාන්‍යකරණය වූ පදනම මත මෙම සංඛ්‍යා 18.2% සහ 35.8% ක වර්ධනයක් පිළිබිඹු කරමින් පිළිවෙලින් රුපියල් බිලියන 28.4 සහ රුපියල් බිලියන 6.6 ක් විය.

2023 එම කාර්තුවේදී රුපියල් බිලියන 15.3 ක් වූ ඒකාබද්ධ ශුද්ධ පොලී ආදායම මෙම කාර්තුව තුළදී රුපියල් බිලියන 16.1 දක්වා ඉහළ ගියේය. විචක්ෂණශිලි පදනම මත කරන ලද ව්‍යතිරේක ගැලපීම් වල බලපෑම හැර සාමාන්‍යකරණය වූ පදනමක් මත අරමුදල්වල කාලීන තැන්පතු පිරිවැය අඩුවීම පිළිබිඹු කරමින්, 2023 දී 2.0% ක් වූ ඒකාබද්ධ ශුද්ධ පොලී සීමාව මෙම කාර්තුවේදී 3.0% ක් දක්වා වර්ධනය විය. ඒකාබද්ධ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 3.8 ක් වන අතර එය සමාන පදනමක් මත 14.7% ක වර්ධනයක් පෙන්නුම් කරයි. සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 17.6 කි. (2023 : රුපියල් බිලියන 14.4).

ඒකාබද්ධ ගනුදෙනුකරුවන්ගේ සමස්ත තැන්පතු රුපියල් බිලියන 2,808.3 ක් දක්වා (2023 අවසානයේ රුපියල් බිලියන 2,745.2) ඉහළ ගිය අතර ශුද්ධ ණය ප්‍රමාණය බිලියන 1,845.4 ක් විය. (2023 අවසානයේ: රුපියල් බිලියන 1,823.8) අවිනිශ්චිත ණය අනුපාතය ද 2023 අවසානයට සාපේක්ෂව වැඩි දියුණුවක් පෙන්නුම් කළේය. සමස්ත ඒකාබද්ධ වත්කම් කාල සීමාව අවසානයේ දී රුපියල් බිලියන 3,264.5 දක්වා වර්ධනය විය (2023 අවසානයේ : රුපියල් බිලියන 3,208.2).

2024 මාර්තු 31 දිනට බැංකුවේ මුළු අනුක්‍රමික සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාන්මතා අනුපාත පිළිවෙළින් 11.5% සහ 16.1% වූ අතර (2023 අවසානයේ: 12.4% සහ 17.4%), ඒකාබද්ධ පදනම මත එය පිළිවෙළින් 12.2% සහ 17.2% විය. (2023 අවසානය: 13.7% සහ 18.2%). බැංකුවේ වගකීම් දැරීමේ හැකියාව අඛණ්ඩව පවතී. අතිරේක අවිනිශ්චිත අරමුණු සඳහා ද ඇතුළුව, එහි නියාමන ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමේ වැඩිදුර උත්සාහයන් දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.

මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘රජය විසින් තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබන සහ ඉක්මනින් අවසන් වීමට ඉඩ ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මුලපිරීම් වලින් පැන නගින අන්තර් කාලීන පීඩනයන් මධ්‍යයේ වුවද බොහෝ අංශවලින් බැංකුව ලබා ඇති ස්ථාවර ප්‍රගතිය පිළිබඳව අපි සතුටුට පත්වෙනවා. සියලු‍ම ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ සහයෝගය මත ඉතා ඉක්මණින් මෙම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. එවැනි සීමාකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවද සියලු‍ම මූලික මෙහෙයුම් දර්ශක වල ධනාත්මක වර්ධනයක් වාර්තා කිරීම ඔස්සේ බැංකුව සිය ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව සහ සාර්ථකත්වය යළිත් ප්‍රදර්ශනය කර තිබෙනවා’

ඉදිරිය දෙස බැලු කළ, වර්ධනය වන සාර්ව ආර්ථික පරිසරය තුළ පැනනඟින අභියෝගවලට මුහුණු දෙමින් රටේ ආර්ථික ප්‍රබෝධය සඳහා හැකි සෑම ආකාරයකින්ම අපගේ කාර්යභාරය අඛණ්ඩව ඉටු කරන බව සහතික කරමින් ඉදිරියට යාම සඳහා අපගේ අවධානය යොමු කරනවා. මෙසේ සාර්ථක ප්‍රතිඵලයක් වාර්තා කිරීම සඳහා කැපවූ අප කාර්ය මණ්ඩලයට සහ අප කෙරෙහි විශ්වාසය තැබූ ගනුදෙනුකරුවන්ට ස්තූති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘අනපේක්ෂිත අභියෝග හමුවේ වුවද අපගේ කණ්ඩායම නැවත වරක් සිය ඔරොත්තු දීමේ හැකියාව, අනුවර්තනය වීමේ හැකියාව සහ නොසැලෙන කැපවීම පෙන්නුම් කර තිබෙනවා. පළමු කාර්තුවේ ප්‍රතිඵල තුළින් අභියෝග මධ්‍යයේ වුවද වර්ධනය වීමට අපට ඇති හැකියාව පමණක් නොව, අපගේ ව්‍යාපාරයේ ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාවද පිළිබිඹු වෙනවා.

මෙහෙයුම් කාර්යක්ෂමතාවයට ප්‍රමුඛත්වය දීම, ගනුදෙනුකාර අත්දැකීම් වැඩිදියුණු කිරීම සහ තාක්‍ෂණය සහ කුසලතා වෙනුවෙන් ආයෝජනය කිරීම මඟින් අපි තිරසාර වර්ධනයක් සහ දිගුකාලීන සාර්ථකත්වයක් සඳහා සැලසුම් සකස් කර තිබෙනවා. වසරේ ඉතිරි කාලය දෙස බලන විට, දැනටත් පවතින අභියෝගවලට මුහුණ දෙමින් අපගේ උපායමාර්ගික ප්‍රමුඛතා කෙරෙහි අඛණ්ඩව අවධානය යොමුකරමින් සිටිනවා. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව සහතික කිරීමේ අරමුණින් නව්‍යකරණයෙන් යුත් ධනාත්මක වෙනස්කම් සිදුකිරීම සඳහා අප අඛණ්ඩව කටයුතු කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment