මහජන මුදලින් 89%ක්ම වෙන්කර තිබු අයවැය පොරොන්දුවල ප්‍රගතිය ගැන කිසිම තොරතුරක් නැහැ – වෙරිටේ රිසර්ච් ආයතනය

65

පසුගිය අයවැයෙන් (2023) බිලියන 43.8ක් වෙන් කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැන තොරතුරු ලබා දීමට රජය අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් සමීක්‍ෂණ ආයතනය කියයි.

2023 අයවැය කතාවට ඇතුළත් කර තිබූ වටිනාකම වැඩිම වියදම් යෝජනා 25ට රුපියල් බිලියන 49.3ක මුදලක් ප්‍රතිපාදන වශයෙන් වෙන් කර තිබිණ. නමුත් එම මුදලින් රුපියල් බිලියන 43.8ක (එනම් 89%) මුදලක් වෙන් කර තිබූ අයවැය පොරොන්දුවල ප්‍රගතිය ගැන තොරතුරු ලබාදීමට රජය අපොහොසත්ව ඇති බව වෙරිටේ රිසර්ච් සිදුකරන වාර්ෂික අයවැය ප්‍රගති සමාලෝචනයෙන් අනාවරණය වී ඇත.

එහි මෙසේ ද සඳහන් වේ.

මහජන මුදලින් 89%ක්ම වෙන්කර තිබු අයවැය පොරොන්දුවල ප්‍රගතිය ගැන කිසිම තොරතුරක් නැහැ - වෙරිටේ රිසර්ච් ආයතනය

පොරොන්දු අනුව සැලකූවිට 2023 වසරේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර ඇත්තේ පොරොන්දු 25න් 4ක් පමණක් (16%) පමණකැයි ද උදාහරණයක් ලෙස ළමා පෝෂණ තත්ත්වය නැංවීමට රුපියල් මිලියන 500ක් වෙන් කිරීම ගෙනහැර දැක්විය හැකි යැයිද එහි දැක්වේ.

මුදල් අමාත්‍යාංශය එහිලා වෙරිටේ රිසර්ච් වෙත දැනුම් දී ඇත්තේ එම පොරොන්දුව ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බවය. එහිලා කරන ලද පසු විපරම්වලදී හෙළිවී ඇත්තේ එහිලා අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශය ජාතික අයවැය දෙපාර්තමේන්තුව ව්‍යාපෘති යෝජනාවක් යොමු කර ඇතත් තවමත් මුදල් ලැබී නැති බව සඳහන් වී යැයිද එහි සඳහන් වේ.

පොරොන්දු ඉටු කිරීමට වෙන් කළ මුදල සලකා බැලුවොත් 2023 වසරෙහි තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය නොහැක. ප්‍රගතිය මැනීමට තරම් තොරතුරු පැවැති අයවැය පොරොන්දු 18ට අදාළ මුළු වටිනාකම රුපියල් බිලියන 5.4ක් පමණක් වූ අතර එය සමස්ත මුදලින් 11%ක් වැනි සුළු ප්‍රමාණයකි.

විශේෂයෙන්ම සමාජ ආරක්ෂණ වැඩසටහන් සම්බන්ධයෙන් ලබාගත හැකි තොරතුරු ප්‍රමාණය ඉතා අඩු මට්ටමක පවතින අතර, ගෙවුණු වසර දෙකක කාලයේ අයවැය තුළින් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ද ඒවාටය. 2022 වසරේ රුපියල් බිලියන 26.8ක් ද 2023 වසරේ රුපියල් බිලියන 43ක් ද එසේ වෙන් කර තිබෙන අතර, එම පොරොන්දුවල ප්‍රගතිය සම්බන්ධයෙන් තොරතුරු ප්‍රසිද්ධ කිරීමට රජය 2022 සහ 2023 යන වසර දෙකෙහිම අපොහොසත්ව ඇත යැයිද එම වාර්තාව සඳහන් කරයි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment