පරිසර ඇමැති කෙහෙළියට උඩින් යන්න අවසර

640

පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලබන නොවැම්බර් මස 30 වැනිදා සිට ලබන වසරේ පෙබරවාරි මස 29 වැනිදා දක්වා වූ කාලය සඳහා විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (23 දා) අවසර ලබාදුන්නේය.

එකී කාල සීමාව සඳහා තාවකාලිකව විදේශ ගමන් තහනම ඉවත් කළ බවට ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන්ට වහාම දන්වා යැවීමට පියවර ගන්නා ලෙසටද විනිසුරුවරයා ප්‍රධාන මහාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.

පරිසර ඇමැතිවරයා ලෙස කටයුතු කරන සිය සේවාදායකයාට ජාත්‍යන්තර සමුළු කිහිපයකට සහභාගි වීමට විදේශගත වීමට අවශ්‍ය බව පෙන්වා දෙමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බලා පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අසාද් නවාමි මහතා විරුද්ධත්වය නොදැක්වීම කෙරෙහි අවධානය යොමු කළ විනිසුරුවරයා එම නියෝගය කළේය. 2015 ජනාධිපතිවරණ සමයේ දී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අවශ්‍යතාවක් නොතිබියදීත් රුපියල් 9,90,000ක මුදලක් යොදවා ජී. අයි. පයිප්ප මිලදී ගැනීමෙන් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එවකට ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ හා හිටපු සභාපති විමලසේන රූබසිංහ යන මහත්වරුන්ට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment