පවුල් තුනක 14ක් මහපාරට දැමූ රත්වත්ත වතු අධිකාරි අත්අඩංගුවට ගන්නැයි සජබ මැති සබයේ විරෝධතාවේ

138


 පවුල් තුනක පුද්ගලයන් 14 දෙනකු බලහත්කාරයෙන් ඉවත් කර නිවාස කඩා එහි දේපළවලටද අලාභ හානි කළ බවට චෝදනා එල්ල වී ඇති ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ, රත්වත්ත රජයේ වතුයායේ වතු අධිකාරිවරයා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගැබ මැදට පැමිණ බිම වාඩි වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක නිරත වීම නිසා ඊයේ (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

 පැයකට ආසන්න කාලයක් මෙම විරෝධතාව පැවති හෙයින් සභාවේ කටයුතු පාලනය කරගැනීමට කථානායකවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. ඊයේ කළු ඇඳුමින් සැරසී පැමිණ සිටි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා (සජබ) සිද්ධිය සම්බන්ධයෙන් පළමුව විරෝධය දැක්වූ අතර නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා ද අදහස් දක්වමින් ඊට විරෝධය පළ කළේය.

 රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා එක්වරම විරෝධතා වැකියක් සහිත පුවරුවක් ඔසවා සෙසු සජබ මන්ත්‍රීවරුන්ට ද විරෝධතා පුවරු ඔසවන්නැයි සංඥා කළේය. එහිදී ‘අපිට හැමදාම ගහනවා. ඇයි මෙහෙම අසාධාරණයක් කරන්නේ. ගහපු කෙනාව අත්අඩංගුවට ගන්න’ ආදී සටන් පාඨ සිංහලෙන් මෙන්ම දෙමළෙන්ද කියමින් මන්ත්‍රීහු විරෝධතාව ආරම්භ කළහ. වඩිවේල් සුරේෂ් මහතා ඒ සඳහා නායකත්වය ලබා දෙන අයුරු පෙනිණි.

 කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විරෝධයට ඉඩ ලබා නොදුන් අතර ඔහු සභාවේ කටයුතු ඉදිරියට ගෙන ගියේය. පසුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් රජයේ වත්තක සිදු වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රජය සහ අමාත්‍යවරයා වගකිව යුතු යැයි චෝදනා කළේය. ඉතා භීෂණකාරී ලෙස එම වතු ජනතාව තලා පෙළා හිරිහැර කිරීම දැඩි ලෙස හෙළා දකින බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

 වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා විපක්‍ෂයේ චෝදනාවලට පිළිතුරු දෙමින් කියා සිටියේ අදාළ වතු අධිකාරිවරයා අනිවාර්ය නිවාඩු යවා ස්ථාන මාරු කොට විධිමත් පරීක්ෂණයක් කරන බවය. ඔහුට එරෙහිව නීතිමය පියවර ද ගන්නා බව කී ඇමැතිවරයා සිද්ධිය සිදු වී පළමු පැය 24 යන්නට පෙර රජය නියෝජනය කරමින් ජීවන් තොණ්ඩමන් මහතා එම ස්ථානයට ගිය බව කීය.

 එම අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු සභාවේ දැඩි ඝෝෂා කරමින් වතු අධිකාරිවරයා මෙතෙක් අත්අඩංගුවට නොගත්තේ ඇයිදැයි ප්‍රශ්න කළහ.

 මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තම පළාතේ ද වතු අධිකාරිවරුන් එලෙස අත්තනෝමතික ලෙස ක්‍රියා කරන බවත් ඒ සම්බන්ධයෙන්ද සොයා බලා සුදුසු පියවර ගන්නා ලෙසත් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

 සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය යොදවා උපරිම පියවර ගන්නා බවට කථානායකවරයා පොරොන්දු වීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මනෝ ගනේෂන් මහතාට කෙටි වේලාවක් ලබා දුන් අතර පසුව තත්ත්වය සමථයට පත් විය.

 අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment