මට බලය ලැබුණු වහාම පාස්කු වින්දිතයන්ට යුක්තිය – සජිත් කියයි

64

ප්‍රහාරය පිටුපස රහස් න්‍යාය පත්‍රයක් :

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිවකු නීතියෙන් බේරා ගැනීමට තමනට කිසිදු වුවමනාවක් නැති බවත් පාලන බලය ලැබුණු විගසම පාස්කු වින්දිතයන්ට යුක්තිය ලබා දීමට ක්‍රියා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි.

හෙතෙම මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

වසර 4ක් ගත වී ඇතත් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට කිසිම විසඳුමක් නොලැබුණු බවත් මේ මොහොත වන විටත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරය පිටුපස රහස් න්‍යාය පත්‍රයක් ඇති බවත් එය සඟවා තැබීමට කිසියම් පාර්ශ්වයක් කටයුතු කරන බවත් ඒ හේතුවෙන් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටු නොවූ බවත් පැවසූ ඒ මහතා කියා සිටියේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වන පර්යේෂණ කටයුතු සඳහා විවිධ ඇඟිලි ගැසීම් පවතින බවයි.

නමුත් සමගි ජන බලවේගය බලයට පත් වූ විගස ස්වාධීන පරීක්ෂණයක් හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට සහ පාර්ශ්වකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන බවත් ස්වාධීන දේශීය හා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වා සිදු කරන මේ ක්‍රියාවලියේ දී ඊට සම්බන්ධ කිසිදු පුද්ගලයකුට ගැලවීමට ඉඩ ලබා නොදෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment