මහත්වරු සිසිර නින්දක

258

(රංජිත් මල්ලියාවඩුගේ රජත පුස්තක නිර්දේශිත කාව්‍ය සංග්‍රහය පිළිබඳ විවරණයකි)

1989 දී ‘ඇස් ලැබීම’ කාව්‍ය සංග්‍රහය රචනා කරමින් කාව්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ රංජිත් මල්ලියාවඩු 1995දී මංගල දියවර ද 2007දී නිදි නැති ගඟ ද 2018දී සහෝදර මුහුණුවර ද 2019දී යළි ගලා යනු පිණිස ද 2022දී එල්ලංගාව ද 2023දී මහත්වරු සිසිර නින්දක ආදී වශයෙන් කාව්‍ය සංග්‍රහ හතක්ම ප්‍රකාශයට පත්කර ඇත. 2019 වර්ෂයේදී ඔහුගේ “සහෝදර මුහුණුවර” කාව්‍ය සංග්‍රහයට රජත පුස්තක සම්මානය ප්‍රදානය කෙරුණු අතර 2023 වර්ෂයේදී එල්ලංගාව කාව්‍ය සංග්‍රහය ද රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශ විය. 2024 වර්ෂයේදී මහත්වරු සිසිර නින්දක කාව්‍ය සංග්‍රහය ද රජත පුස්තක අවසන් කවි පොත් ත්‍රිත්වය අතරට තේරී පත්වීම අගය කළ යුත්තකි.

කවර හෝ සම්මානයක් ලැබීමෙන් කිසිම කලෙක උඩඟු නොවූ නිහතමානි කවියකු වන රංජිත් මල්ලියාවඩුගේ “මහත්වරු සිසිර නින්දක” කාව්‍ය සංග්‍රහය විචාරක අවධානයට ලක්විය යුතුමය. කවි පොත නාමාර්ථ ගැන් වූ “මහත්වරු සිසිර නින්දක” රචනය සෙසු රචනාවලට වඩා ආකෘතික විචිත්‍රත්වයෙන් ද භාෂාවෙන් ද පරිකල්පනයෙන් ද බහුවිචාර්ථයෙන් ද සෙසු කවි අභිභවනය කරයි.

නටමු මල් නැටුම
අපි මැක්සියෝ උදෑසන
සරා දුර ඈත වන වදුලුවල
මධු පිරි කුසුම් ගොනු සොයා ගෙන
ගැහැනු යැව්වා යැයි වැඩට
නපුරු මංමාවත්වල
පත්තරවල හෑලී
ලියයි දැන් මහතුඟ අවදි වුණ

ගබඩා කුටිරවල
රැස් කෙරුණු අහරය
පිලා කෝෂෙන් කෝෂෙට
පරපුරේ හෙට දවස ය
මෛථුන පියා සැරිය ද
අත ළඟට ඇවිදින් ය
අන්න ඒ දවසට
සිටිය යුත්තේ රාජධානියෙ
අයෝමය පිරිමින් ය

ලෙස ඇරැඹෙන රංජිත් මල්ලියාවඩුගේ අලුත් කවි පොතෙහි එන මේ කවිය රසවිඳ ඇත්නම් ඒ ඉතාම සුළු පිරිසකි. මෙහි අන්තර්ගත කාව්‍යානුභූතිය ගොඩනැංවූ කවියාගේ අසිරිමත් පරිකල්පන ශක්තිය ප්‍රබලය. ඔහු කවි බසෙහි වචන මගින් අඳින රූපරාමු මේ කවිය හරවන හරවන පැත්තට ආලෝකය විහිදුවන අෂ්ට වංක මාණික්‍ය රත්නයක් මෙන් දිදුලවන්නට පටන් ගනියි. එනිසා මේ කවිය ඇරිස්ටෝටල් පඬිවරයා කියන ආකාරයට මයිමෙසිස් – හෙවත් අනුකරණයකි. මයිමෙසිස් යනු ප්‍රතිනිර්මාණයකි. යමක් දෙස බලා එයම නැවත වරක් නිමැවීමකි. රූපකාර්ථවත් බසකින් කිවහොත් එය කතා කරන රූපකයකි. එහි අරමුණු පිනවීම හා ගුරුහරුකම් දීම යැයි සර් පිලිස් සිඩ්නි නම් ඉංග්‍රීසි කවියා ්චචදකදටහ දෙර ඡදැඑරහ නම් ලිපියේ සඳහන් කර ඇති ආකාරයට රංජිත් මල්ලියාවඩුගේ ‘මහත්වරු සිසිර නින්දක’ කවිය ඉනිකාරක ගුණැති රූපාවලියකි.

මී මැස්සෝ උදෑසන මල් නැටුම නටති. ඔවුහු දුර ඈත වන වදුලුවලට පියාසර කර යති. මධුපිරි කුසුම් සොයා ගනිති. ඒ පුෂ්ප මකරන්ද මත වසා මල් පැණි තුඩගට ගෙන එති. ඔවුහු වද බඳිති. මී මැස්සෝ වද රකිති. මී මැස්සියෝ ගබඩා කුටීරවල ආහාර රැස්කරති. මෙම කෘමි කීටයන් පිලා අවස්ථාවට පත්වන විට සාදා ගන්නා සේද කෙඳී කොපුව “පිලා කෝෂෙන් කෝෂෙට” යන කාව්‍යෝක්තිය මගින් ඉඟි කරන කවියා අහසෙහිදී

සංසර්ගයේ යෙදීම සිදුවන පරිදි මැස්සන් කිහිපදෙනකු සමග අලුත් මී මැස්සියක් පියාඹා යෑම ‘මෛථුන පියා සැරිය’ ද වචන තුනකින් කීම කවියාගේ ප්‍රතිභා ශක්තිය පෙන්වන්නකි. වද රැකසිටින මී මැස්සාට සංසර්ගය පහසුය. මී මැස්සියෝ ඔවුන් ළඟටම එති. “අත ළඟට ඇවිදින්ය” යන කාව්‍ය ඛණ්ඩයෙන් ඉඟි කරනුයේ ඒ සම්බෝග සුඛයයි. මධු ලෝල වූ මී මැසි ගෘහයක සෙසු මීවැසි සමූහයාට වඩා රාජ මී මැස්සා තේජාන්විතය. ඌට සෙසු මී මැස්සෝ ගරු සරු දක්වති. “අන්න ඒ දවසට සිටිය යුත්තේ රාජධානියේ අයෝමය පිරිමින්ය” යන වචන මගින් ගම්‍ය කරනුයේ ඒ රාජ මී මැස්සාගේ තේජෝබල ධීරාධි ගුණයෙන් පොහොසත් පෞරුෂයයි. ඒ පෞරුෂයට ලොල් වූ මී මැස්සියෝ ඌට අවනත වෙති. මේ කතාව පසුබිමෙහි තබා මල්ලියාවඩු අපට උත්ප්‍රාසාස්මකව ඉඟි කරනුයේ වෙනස්ම කතාවකි. මී මැස්සියෝ වද බැඳීමට මකරන්දය සොයා ඈත වන පෙතට පියාඹති.

ගැමිලියෝ කුටුම්බ සංරක්ෂණයට කහවණු සොයා නගරය දිග්විජය කරති. ගැහැනු රැකියාවලට යවා තම කුටුම්බ රැකගන්නා පුරුෂ කේඩෑරී පාණ්කඩ පිරිමි හාස්‍යයට නංවන කවියාගේ වචන චිත්තරූප නංවනසුලුය.

“ගැහැනු යැව්වා යැයි වැඩට
නපුරු මංමාවත්වල
පත්තරවල හෑලී
ලියයි දැන් මහතුඟ අවදි වුණ”

මේ වූ කලී, කවියට ඉතාම වැදගත් කාව්‍යාර්ධයකි. මන්ද යත් එය මී වදය හා කුටුම්බ සංරක්ෂණය සමපාත කරන හෙයිනි. ඒ නිසා මල්ලියාවඩුගේ මේ කාව්‍ය පාද කිහිපවරක් උරා නොගතහොත් එහි අර්ථගාම්භීය තේරුම් ගැනීම දුෂ්කර වනු ඇත. මල්ලියාවඩු ඉඟි සපයන ආකාරයට මී වද බැඳීමේදී දුෂ්කරම කාර්යභාරය කරනුයේ මී මැස්සියෝය. වර්තමාන මිනිස් සමාජයේ වුවද දක්නට ලැබෙනුයේ මෙවැනි තත්ත්වයකි. බොහෝ පිරිමි තමන්ගේ ගැහැනු, නපුරු මංමාවත්වල වැඩට යති. එහිදී වූ නොසිතු තාක්ෂණයෙහි “මෛථුන පියාසැරිය ද අත ළඟට ඇවිදින්ය” යන්නෙන් මී මැස්සියට එකවරම මී මැස්සන් කිහිපදෙනකු සමග සංසර්ගයේ යෙදීමට සිදුවීම ඉඟි කරන්නේ කුමක්ද? ඊට වගකිව යුත්තේ අනාරක්ෂිත මී මැසි බිරින්දෑවරුන් ද? ඔවුහු දෙස් – විදෙස් රටවල රැකියා පිණිස යති. ගොදුරු අත ළඟටම පැමිණි කල පිපාසිත වූවෝ අත හරිත්ද?

මේ කවියේ අභ්‍යන්තර අරුත කරා එළැඹීමට හත් අටවරක්වත් සමස්ත කවියම උරාගත යුතුය. කවියේ ලක්ෂ්‍යාර්ථය හා ධ්වනිතාර්ථය එකිනෙක හා පෑහෙන බව පෙනේ. ඉහත සඳහන් කළ සමස්ත කවියෙහි මේ පද පේළි ත්‍රිත්වයම ඇත.

“අන්න ඒ දවසට
සිටිය යුත්තේ රාජධානියේ
අයෝමය පිරිමින්ය”

මේ කාර්යට පාදක වූ අනුභූතිය මී වදයක් හා බැඳුනකි. කවියාගේ අධ්‍යාංශය නම් එය නිරවුල්ව ප්‍රකාශ කිරීමය. ඒ සඳහා ඔහු කවියේ එක් පාදයක් ගෙතීමට කරන වෑයම අතිදුෂ්කර වූවකි. එය දියමන්තියක් ඔප දමන තරම්ම දුෂ්කරය. දියමන්තිය හරවන හරවන පැත්තට විවිධ ආලෝක ධාරා නිකුත් කරන්නා සේම මේ කවිය ද විවිධ තල හා මාන ඔස්සේ විනිවිද යා හැකිය.

ගැහැනිය අනාරක්ෂිත වන තැන, ඇගේ රාජධානියට අන්න ඒ දවසට සිටිය යුත්තේ “අයෝමය පිරිමින්ය” යන වචන ගැටගැසුමෙහි ඇත්තේ ගැහැනිය, සුවච කීකරු, සිල්වත් පිරිමින්ට වඩා තේජාන්විත යකඩ පිරිමින් අපේක්ෂා කරන බවය. ගෙදර සැමියා පුරුෂ හීන, බෙලහීනයකු වන කල්හි ගැහැනිය මඟතොටදී හිතවත් වන ශක්ති සම්පන්න, ධෛර්යවන්ත පිරිමින්ට යටි සිතින් ආලය කරයි. ගැහැනු මනසෙහි කොනක පැනනැඟී මතුපිටට නොඑන ඒ හැඟීම කවියට

නැඟීමට ගත් දුෂ්කර වෑයමකි මේ. එය කියන්නට මල්ලියාවඩු ගැටගැසූ වචන පරිස්සමෙන් වටහා නොගතහොත් ඔහුගේ නිර්මාණාවේශය විඳගැනීම දුෂ්කර වන්නට පුළුවන.

මේ කවිය සමස්තයක් ලෙස ගතහොත් එහි සංකේතාත්මක වටිනාකමක් ද ඇත. මී වදයෙන් නිරූපණය වන්නේ ලංකාවයි. මී වදයේ රජු යනු රටේ නායකයායි. මී වදය ආරක්ෂා කරගෙන සිටින රාජ

මී මැස්සා ශක්ති සම්පන්න කෘමියෙකි. මී මැසි රාජධානියට ඌගේ බලවත් පෞරුෂය යහපතකි. එහෙත් බි්‍රතාන්‍ය කිරීටියෙන් නිදහස ලබා හැත්තෑපස් වසරක් ගෙවී ගිය ද සිංහල රාජධානියේ පාලනයට එවැනි අයෝමය පුරුෂයකු පැමිණියේ නැත. සිංහ වෙස් ගන්වා සිංහාසනාරූඪ කළ බොහෝ පාලකයෝ ටික කලකින් බලූ වූහ. කවියා එය උත්ප්‍රාසයට නංවන්නේ “මහත්වරු සිසිර නින්දක” යන කාව්‍යෝක්තියෙනි.

පාලකයාගේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නේ රාජ්‍ය නිලධාරි පන්තියයි. ඒ නිලධාරි පන්තිය ඉහළ සිට පහළටම දූෂිතය. දූෂිත රාජ්‍ය නිලධාරියාගෙන් සාධාරණ යුක්තිගරුක සමාජයක් තැනිය හැකිද? මැති ඇමැතිකම් නැතත් ඔවුහු හොරකමට, අල්ලසට පෙර පුහුණුව ලැබුවෝය. ඒ සත්‍යය යථාර්ථයක් බවම ප්‍රත්‍යක්ෂ කරමින් රංජිත් මල්ලියාවඩු “මහත්වරු සිසිර නින්දක” කාව්‍යයට විරාමය තබනුයේ මෙසේය.

“ලොකුම සැනසුම අපේ රජයක
මැති ඇමැතිවරු නොවීමය”

එදා හෙළදිව පෙරදිග ලෝකයෙහි බබළන මුතු ඇටයකි. අද ලොවට ණය බරවූ රටකි. ඒ “රට වටේ” නමින් රංජිත් මල්ලියාවඩු රචනා කර ඇති ස`දැස් සිව්පද කාව්‍යය උත්ප්‍රාසාත්මක අවස්ථා නිරූපණයකි.

මහත්වරු සිසිර නින්දක

කවියා මෙම පi මගින් ධ්වනිත කරන අර්ථය ඉතා ප්‍රබලය. උත්ප්‍රාසය ගැබ්ව ඇත්තේ ඔහු වචන සුසංයෝග කර ඇති සැටියෙනි. ‘දියවන්නාව’ පාර්ලිමේන්තුව ඉඟි කෙරෙන වචනයකි. කවියා දියවන්නාව උත්ප්‍රාසයට නංවන්නේ “බේගල් සමාගම” යන වචන මගිනි. ඒ බේගල් සමාගම සිරියාවන්ත බවත්, දැකුමට කැමැති අය නොපමාව අත ගාව ඇති ට්‍රෑම්ප් කාර් භාවිතා කළ යුතුය යන විරෝධාහාසය :ච්ර්ාදං* හා උත්ප්‍රාසය :ෂරදබහ* අතර ඇති සියුම් වෙනස වචනවලට නඟයි. දියවන්නාවේ හදන සැලසුම් ‘ජාඩි දමන’ බව කීම සදය උපහාසයකි. නිදහසින් පසු අවුරුදු හැත්තෑපස් වසරක් ගෙවී ගිය ද මගීහු බස් රථවල එල්ලී යති. එති. කවියා ඒ සුඛෝපභෝගී ජීවිතය උත්ප්‍රාසයට නංවන්නේ “සාඩින් නිපදවති බස් රථවල සරලු” යන කාව්‍ය පදයෙනි.

දක්ෂිණ ලංකාවේ ගාලුපුර අම්බලන්ගොඩ කී කල, මතකයට නැඟෙන්නේ රූකඩය. “රූකඩ අම්බලන්ගොඩටම හිනා වෙවී” යන කාව්‍යෝත්තිය උත්ප්‍රාසය බහු ප්‍රචාරයට නැංවීමකි. එනිසා කවියා මේ අවස්ථාවේ අධ්‍යාහරයෙන්ම කුලුගන්වන දෙය නම් “සිටිති මෙදා කවුරුත් නූලෙන් නැටවී” යන්නය. රටේ ජනතාව රූකඩ පාලකයෝ පත් කරති. ඔවුහු විජාතීය සමාගම්වල නූල් සූත්තරවලින් නැටවෙති. රටේ සමස්ත දුගී ජනතාව කවර දේශහිතෛෂී ආණ්ඩු බලයට ගෙනාව ද පීඩාවෙන් පීඩාවටම පත්වෙති. ඒ නිසාම මල්ලියාවඩුගේ සඳලකරින් පබැඳුණු “රට වටේ” කවියේ සැඟවුණු අර්ථය උද්දීපනය වන්නේ උත්ප්‍රාසය නිසාය.

විසිවන සියවසේ ඉංග්‍රීසි කවිය මුළුමනින්ම වෙනස් මඟකට යොමු කිරීමට පුරෝගාමී වූ එස්රා පවුන්ඩ් (1885 – 1972) නම් ඇමෙරිකානු ජාතික කවියා වරක් ප්‍රකාශ කළේ ‘කවියේ ප්‍රස්තුතයම එහි සංකේතය විය යුතු බවය. යම් කවියකු සංකේත භාවිත කරන්නේ නම් එම සංකේත යෙදීමෙන් කවියේ වින්දන කාර්යයට බාධා නොඑළැඹෙන ලෙස එය කළ යුතු” බවය. රසිකයාගේ රසවින්දනයට හානි කර නොවූ සංකේතමය ගැඹුරක් ඇති කවි මල්ලියාවඩුගේ “මහත්වරු සිසිර නින්දක” කවි සංග්‍රහයෙහි ඇත. “සුබ මුහුර්තය” නිදසුනකි.

මහත්වරු සිසිර නින්දක

මේ කවිය ඇරිස්ටෝටල් කී ලෙසින්ම මයිමෙසිස් හෙවත් අනුකරණයකි. අනුකරණය කර ඇත්තේ ආරියවංශ රණවීරගේ “ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ” කාව්‍ය සංග්‍රහයෙහි එනමින්ම එන රචනයයි. ඒ රචනය සංකේතමය අර්ථයෙන් ගත් කල විශිෂ්ට කාව්‍ය රචනයකි. ඒ රචනයෙහි ඡායානුවාදයක් මෙහි ගැබ් වුවද “සුබ මුහුර්තය” ප්‍රතිනිර්මාණයකි.

රංජිත් මල්ලියාවඩුගේ මේ දෘෂ්ටිය විග්‍රහ කර බලතහොත්, එහි සංකේතමය ගැඹුරක් පෙනේ. කුඹුරින් නිරූපණය වන්නේ මාතෘ භූමියේ මජර දේශපාලනයයි. ‘ගේ කුරුල්ලා’ කම්කරු ජනතාව නියෝජනය කෙරෙන රූපකමය සංකේතයකි. කම්කරුවෝ ගේ කුරුල්ලන් මෙන් වෙහෙස වී වැඩ කරති. එහෙත් උන්ට ඉන්නවත් පැලක් නැත. වී කුරුල්ලෝ නිකංම සිට අස්වැන්න බුක්ති විඳිති. කවියා එය දේශපාලනයට බද්ධ කරනුයේ “වී කුරුල්ලෝ සිටිති වී මෝල් හිමි” යන කාව්‍යෝක්තියෙනි. රජරට ගොවියෝ යල – මහ දෙකන්නයම වපුරති. වී කුරුල්ලෝ ඒවා ගබඩා කරති. මේ වී කුරුල්ලෝ සංකේත කරනුයේ ගොවි ජනතාව සූරාකන වී මෝල්හිමියෝය. ඔවුහු අඳ කුඹුරු වැඩට නොඑති. “පාවරට නොවැරැඳි පියාඹා එති” යන්නෙන් තුට්ටු දෙකට ගොවියා සූරාකන බැව් ඉඟි කිරීමකි. එක කන්නයක් වගා කර වී ටික ගෙට ගෙන එන්නට පෙරම ගෙවිලියෝ ඊළඟ කන්නයේ වගා කිරීමට ණය වන බැව් “මාල ගිරවියෝ උකස් පෝලිමේ යති” යන කාව්‍ය පදයෙන් ධ්වනිත කරයි.

ශාලිශෝපිකාවෝ යනු ඇල්ගෙවිලියෝය. ඇල් කෙත් රකින්නියෝය. ඔවුහු කුඹුරෙහි වල් ඇතත් නැතත් ඒ නෙළනු රුචියෝය. එනිසා ඔවුහු සදාකාලිකවම කුඹුරුවල දුක් විඳිති. කුඹුර සංසාරයම සංකේත කරන්නකි. කුඹුර නමැති සසරෙහි ඇලී මිනිස්සු දුක් විඳිති. බුදුරජාණන් වහන්සේ නිවනට මඟ හෙළි කළ ද කවියා පවසන්නේ වැඩ කරන ජනතාව ඒ ඇල් කෙත්වල සිටින බවය. ඔවුනට එලොව විමුක්තිය උදාකර දීමට ප්‍රථම මෙලොව විමුක්තිය උදාකර ගැනීමට නම් “මඩ සෝදාගත් කලට ගොවියා රජකමටත් සුදුසුය” යන මුළාවෙන් මුදාගත යුතුය. ඒ සඳහා “රතු පාට තැවරීම” සංකේත කරනුයේ කම්කරු ජනතාවගේ විමුක්තියයි. ඒ විමුක්තිකාමීන්ගේ ලෝකය මහ පොළොවේ යථාර්ථයක් කර ගැනුමට රටේ සමස්ත ගොවිජනතාවම සිහිනෙන් අවදි කළ යුතු බැව් අවධාරණය කරමින් කවියා කාව්‍යය සමාප්ත කර ඇත. රටේම පරිපාලනය මෙහෙයවන ‘මහත්වරු සිසිර නින්දක’ නියැළෙන මෙවැනි කලෙක රංජිත් මල්ලියාවඩුගේ මේ කාව්‍ය සංග්‍රහයෙහි එන බොහෝ කාව්‍ය රචනා රටේ සමස්ත ආර්ථික, දේශපාලනය පිළිබඳ අන්තර් දෘෂ්ටින් සපයන බව කිව යුතුය.

මහත්වරු සිසිර නින්දක

ආචාර්ය – මහේෂ් ක්‍රිශාන්ත


advertistmentadvertistment