දළදා දැක්ම ප්‍රවිෂ්ට මාර්ග භූමියෙන් දිනකට මිශ්‍ර කුණු ටොන් පනහක් ද මහනුවර ග්‍රාමසේවා වසම් හතළිස් පහෙන් එක් වූ කුණු ටොන් අසූව ද එක්ව මේ වන විට කුණු ටොන් එක්දහස් අනූවක් ගොහාගොඩ කසළ අංගනයේ තබා ඇති බව මහනුවර මහ නගර සභාවේ අපජල හා ඝන අපද්‍රව්‍ය ඉංජිනේරු නාමල් දිසානායක මහතා පවසයි.
ප්‍රවිෂ්ට මාර්ග ඔස්සේ රැස් කළ කුණු ටොන් හාරසිය පනහ වෙන් කිරීමේ කාර්ය සඳහා විසිදෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් යොදා ඇති බවද හෙතෙම කීය.
දිනකට කුණු ටොන් තුනක් වෙන් කිරීම සඳහා කම්කරුවන් හය දෙනකු පැය හතක් ගත කරන බවත් මෙම මිශ්‍ර කුණු වෙන් කිරීමේ කාර්යය ඉතා අසීරු තත්ත්වයක පවතින බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
දළදා දැක්ම අවසන් වූ පසුව මහනුවර නගරය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා ග්‍රාමසේවා වසම් 45න් පරිසර කමිටු නිලධාරීන් කැඳවා ඇති බවද හෙතෙම කියා සිටියේය.
ඇතැම් කසළ ද්‍රව්‍ය වෙන් කිරීමේදී බැතිමතුන්ගේ ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර, සායන තොරතුරු පත් ඇතුළු අත්‍යවශ්‍ය ලියකියවිලි දමාගොස් ඇති බැවින් ඒවා වෙන් කිරීම සඳහා ද කණ්ඩායමක් යොදා ඇතැයි හෙතෙම කියා සිටියේය.
එම තොරතුරු මත වටිනා ලියකියවිලි ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට වෙනම ක්‍රමවේදයක් ක්‍රියාත්මක කොට ඇති බව ද නාමල් දිසානායක මහතා පැවසීය.
සමන්ති වීරසේකර, නෝමන් පලිහවඩන