මහනුවර පාසල් සිසු ගැටුම දුරදිග ගොස් එක් සිසුවෙක් අනෙක් සිසුවාගේ බඩට පිහියෙන් ඇනලා

837

කලක පටන් පැවති කෝන්තරයක් මත මහනුවර ප්‍රධාන පෙළේ පාසලක සාමාන්‍ය පෙළ සිසුන් දෙදෙනකුගේ ගැටුම දුරදිග ගොස් එක් සිසුවකු අනෙක් සිසුවාගේ උදරයට දරුණු පිහි පහරක් එල්ල කර තිබේ.

තුවාල ලත් සිසුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පසුගිය 14 දා පාසල නිම වීමෙන් පසු පස්වරු 1.40 ට පමණ පාසල ආසන්යේ දී මෙම පිහි ඇනුම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. මෙම පිහි ඇනුම සිදුවී සුළු වේලාවකට පසු 16 හැවිරිදි සිසුවා අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි. මෙම සිසුහු දෙදෙනාම උඩුවෙල හුණුකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

සැකපිට අත්අඩංගුවට ගත් සිසුවා මනෝ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර මානසික තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ද සමඟ ජූලි මස 26 දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහනුවර අතිරේක මහෙස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දී තිබේ. ඇප මත මුදාහරින ලද සිසුවා මවගේ භාරයට පත්කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශය පරීක්ෂණ පවත්වයි.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment