මහවැලි කළමනාකරු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

35

මහවැලි අධිකාරියේ ඒකක කළමනාකාරවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් පෙරේදා (21දා) අත්අඩංගුවට ගන්නා ලදී.

වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

පැමිණිලිකරුට රණවිරු පදනම යටතේ නිවසක් සාදා ගැනීමට මහවැලි අධිකාරිය හරහා ඇතුගල ප්‍රදේශයේ ලබාදී ඇති පර්චස් 20ක ඉඩම වගුරු බිමක් සහිත නිසා වෙනත් ඉඩම් කොටසක් ලබාදෙන ලෙස කරන ලද නැවත ඉල්ලීම අනුව මහවැලි අධිකාරියෙන් වෙනත් ඉඩම් කොටසක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරදී බලපත්‍රය ලබාදීමට උදවු කිරීම සඳහා රුපියල් 20,000ක මුදල අදාළ නිලධාරියා විසින් ඉල්ලා තිබේ.

ඒ අනුව මහවැලි අධිකාරියේ සේනපුර කොට්ඨාස කළමනාකරණ කාර්යාලයට අනුයුක්තව සඳුන්පිටිය ඒකක කළමනාකරණ කාර්යාලයේ ඒකක කළමනාකාරවරයා එම කාර්යාලය තුළ අදාළ අල්ලස ලබාගනිද්දීම කොටුකරගත් බව අල්ලස් කොමිසම කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment