මහවැස්සෙන් අසූහතර දහසක් විපතේ – මරණ 16ට නගී

179

දිස්ත්‍රික්ක 9ක නාය අනතුරු ඇඟවීම් අදටත් වලංගුයි
තවලම අතුරුදන් වූ දෙදෙනාගේ සිරුරු හමුවෙයි

දිස්ත්‍රික්ක 20කට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මරණ 16ක් ද පවුල් 21,353ක පුද්ගලයන් 84,749ක්ද පීඩාවට පත්ව ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (03දා) පැවසීය.

රත්නපුර මරණ 05ක්, කොළඹ මරණ 03ක්, ගාල්ල මරණ 2ක් සහ මාතර මරණ 06ක් වාර්තා වී ඇතැයි ද ඊයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය. නිවාස 09කට පූර්ණ හානි සහ නිවාස 977කට අර්ධ හානි සිදුවී තිබේ.

මහවැස්සෙන් අසූහතර දහසක් විපතේ - මරණ 16ට නගී

පිංතූර – ගම්පහ සහ බියගම

පීඩාවට පත් 23,707ක පිරිසක් ආරක්ෂක මධ්‍යස්ථාන 119ක රඳවා සිටින බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය. රත්නපුර පවුල් 830ක පුද්ගලයන් 3400ක් ආරක්ෂක මධ්‍යස්ථාන 29කද, මාතර පවුල් 92ක පුද්ගලයන් 391ක් ආරක්ෂක මධ්‍යස්ථාන 07කද, කළුතර පවුල් 703කට අයත් 2651ක් ආරක්ෂක මධ්‍යස්ථාන 46කද, ගාල්ල පවුල් 25ක පුද්ගලයන් 608ක් ආරක්ෂක ස්ථාන 08කද රඳවා ඇති බවත් එම සංඛ්‍යා වෙනස්විය හැකි බවත් ඒ මහතා කීය.

පීඩාවට පත් ජනතාවට තුන්වේලටම පිසූ ආහාර ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් ලේකම්වරුන්ට අවශ්‍ය මුදල් ලබාදී ඇති බවත්, ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීමට දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි, කෘෂි පරීක්ෂක, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක ඇතුළු රාජ්‍ය අංශ මෙන්ම සිවිල් සංවිධානවල පිරිස් ද එක්ව ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

දිවයිනට බලපා ඇති නිරිතදිග මෝසම් වැසි තත්ත්වයේ අඩුවීමක් අද (04දා) සිට ඇතිවන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.

මෝසම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් වර්ෂාව ඇතිවීමට මාස කිහිපයකට පෙර අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කළ බව ද ඒ මහතා කීය. තමන් දකුණු ආසියානු රටවල තොරතුරු ද

රැගෙන අනාවැකි ප්‍රකාශ කරන අතර, අධික උෂ්ණත්වයක් පැවැති පසුගිය සමයේ මැයි 20 වැනිදායින් පමණ පසු වර්ෂාව ඇතිවන බවට කාලගුණ විiා දෙපාර්තමේන්තුව අනාවැකි පළකළ බව ද ඒ මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් නිරිතදිග මෝසම් තත්ත්වයක් සහිත නිසා බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද ඒ මහතා කීය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය, රත්නපුර සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නායයෑම් නිවේදන අද දිනටත් බලපවත්වන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණානායක මහතා පැවසීය. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, ඉංගිරිය, බුලත්සිංහල, පාලින්දනුවර, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, කිරිඇල්ල, කලවාන, ඇහැලියගොඩ, කුරුවිට, ඇලපාත, අයගම හා රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට රතු නිවේදන (ඉවත්වීමේ) නිකුත් කර තිබෙන බවත්, එම ප්‍රදේශවලට වර්ෂාපතනයේ අඩුවීමක් සිදුවුවත් ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙන තුරු යළි නොයන ලෙසත් ඒ මහතා ඉල්ලීමක් කළේය. කණ්ඩි කඩාවැටීම් නායයෑම් 51ක් වාර්තා වී ඇති බවත් පවුල් 14,500ක් අධි අවදානම් තත්ත්වයේ පසුවන බව හඳුනාගෙන ඇති බවත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විiාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා කීය.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික ජයකොඩි මහතා කියා සිටියේ ජීවිත රැකගැනීමට බෝට්ටු 17ක් සමග ගලවාගැනීමේ කණ්ඩායම් 20ක් යොදවා ඇති බවය. මීට අමතරව දිස්ත්‍රික්ක 25ම ආවරණය වන සේ 800ක පමණ පිරිසක් සූදානම්ව සිටින බවත්, එම පිරිස් සමග ගලවාගැනීම් සඳහා සන්නද්ධ රථ පවා සූදානම් කර තිබෙන බවත් හෙතෙම පැවසීය.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් කුෂාන් විජේසිංහ මහතා කියා සිටියේ රත්මලාන, කොග්ගල සහ කටුකුරුන්ද යන ගුවන් හමුදා කඳවුරුවල හෙලිකොප්ටර් යානා සූදානම් කර ඇති බවත්, ගංවතුර පවතින ප්‍රදේශ ආවරණය කරමින් නීරික්ෂණ යානයක් ගුවන්ගත කර තිබෙන බවත්ය. 400කට වැඩි පිරිසක් ගලවාගැනීම සඳහා සූදානම් කර සිටින බව ද ඔහු කීය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා කියා සිටියේ නාවික හමුදා කණ්ඩායම් 40ක් යොදවා සිටින බවත් එම පිරිස් කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාපිත කර සිටින බවත්ය.

මේ අතර පැවැති වර්ෂාපතනයත් සමග කැලණි, ගිං, නිල්වලා සහ කළු යන ගංගාවල ජලය පිරී ඇති බවත්, ඒ හේතුවෙන් එම ගංගා ආශ්‍රිත පහත් බිම් සහ මාර්ග රැසක් යටවී ඇති බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එස්.ටී.වී. සුගීෂ්වර මහතා පැවසීය.

එම ගංගා ආශ්‍රිත ප්‍රදේශවලට ඊයේ දැඩි වර්ෂාපතනයක් වාර්තා වී නැති බවත්, එම පහත්බිම්වල ජලය බැසයෑම හෙමින් සිදුවෙමින් පවතින බවත් ඒ මහතා කීය.

චමින්ද සිල්වා
පිංතූරය ජයනන්දන පෙරේරා සහ බියගම සුදත් පුබුදු කීර්ති, ඩබ්.ඩී. විතාන

advertistmentadvertistment
advertistmentadvertistment