මළගෙදරක රැයක් ගත කරනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. මඟුල්ගෙයක් හෝ සාදයක් වගේ නොව ආරාධිතයන් පමණක් කියා නැතිව විවිධ තරාතිරමේ පුද්ගලයෝ පැමිණෙති. මෙලෙස එන පිරිස අතර බූරුවා ගැසීමේ සූදුවේ නිරත වීමට පැමිණෙන අය ද තවම සිටිති. එලෙස මළගෙවල්වල බූරුවා ගසන්නට සහ බූරුවා ගැස්සවීම ද පුරුදු වෙච්ච වෙනම පිරිසක් සිටිති. ඔවුනට අවශ්‍ය මළගෙයක් සහ මළගෙදර අයගේ අවසරය පමණි.
එලෙස මළගෙවල්වල බූරුවා ගැස්සවීමේ සූදුවේ නිරතව සිටින අයෙක් ලෙස සිරිපාල ප්‍රසිද්ධය. මේ වන විට ඔහු මෙම සූදුවේ නිරතවන්නට පටන් ගෙන වසර තිහක් පමණ වේ. මා ද ඔහු හොඳින් හඳුනන නිසා කතා බහ එතරම් අපහසු නොවීය.
කොහොමද මේ දවස්වල මළගෙවල්වල බූරුවා ගැසීම… මම කතා බහ ආරම්භ කරමින් විමසුවෙමි.
ටිකක් අමාරුයි. ඉස්සර වගේ නෙමෙයි. දැන් ගොඩාක් මළගෙවල්වල බූරුවා ගසනවාට කැමැති නැහැ. ඒ වගේම දැන් ගොඩාක් මරණ මල්ශාලාවල තියන්න පුරුදු වෙලා. ඉස්සර ඔය මල්ශාලා වැඩේ තිබුණේ කොළඹ විතරයි. දැන් ගමටත් ඇවිත්. සිරිපාල කතා බහ අරඹමින් පැවැසීය.
ඉස්සර අපි අපේ ගමේ මළගෙවල් විතරක් නෙවෙයි, වෙනත් ප්‍රදේශවල මළගෙවල්වලටත් ගියා. බොහෝ මළගෙවල්වල අයිතිකරුවන් අපට ඒ සඳහා අවසර දුන්නා. අපි එයාලට බූරුවා ගසා දිනන මුදලින් යම් කොටසක් දුන්නා. මුල් කාලයේ තෝන් කියලා බූරුවා ගසන අය බෝතලයකට මුදල් දැම්මා. එම එකතු වෙන මුදල මළගෙදර අයට දුන්නා. නමුත් පස්සෙ පස්සෙ සමහර අය අපි දිනන මුදලින් සියයට දහයක් ඉල්ලන්න පටන් ගත්තා. සමහරු අපගේ ඉල්ලීම අනුව මළගෙය දවස් දෙකක තුනක් පමණක් තබා ගන්නවා. සිරිපාල තම බූරුවා සූදුවේ අත්දැකීම් හෙළි කිරීම පටන් ගත්තේය.
මගේ තාත්තාත් මළගෙවල්වල බූරුවා ගැසුවා. එයා ඊට අමතරව කසිප්පු පෙරලා වික්කා. කසිප්පු ගාමිණී කියල තමයි ප්‍රසිද්ධ. සිරිපාල එසේ පවසන විට මට මාගේ බාල කාලය සිහිපත් විය. කසිප්පු ගාමිණීට අප කුඩා කාලයේදී දැඩි බියකින් පසුවිය. ඔහු උස මහත, හැඩි දැඩි අයෙකි. සරමක් ඇඳ උඩුකය නිරාවරණය කරගෙන සිටින ඔහුගේ කරෙහි කොටි දතක් සහිත මාලයක් තිබුණි. කළු නූලක බැඳ කරෙහි එල්ලාගෙන සිටි එහි සුරයක් ද තිබූ බව මතකය.
අඩෝ…. මෙහෙවරෙන්… පරයා…
ආදී පරුෂ වචනවලින් මිනිසුන් අමතන ඔහු සමග පිරිවරක් ද සිටියහ. කසිප්පු ගාමිණ මළගෙවල්වල බූරුවා ගැසුවේ නිවැසියන්ගේ අවසරයකින් තොරවය. ඔහු සමග එන පිරිවරට බොහෝ දෙනා බියක් දක්වති. නිතර පොලිස් අත්අඩංගුවට පත්වන එම පිරිස මදාවියන් ලෙස වැඩිහිටියෝ පැවසූහ. ගාමිණීගේ පුත් සිරිපාල තුළ එවැනි හැඩි දැඩි පෙනුමක් නැත. ඔහු, ඔහුගේ මව මෙන් තලෙළුයි. කොණ්ඩය බොකුටුය. නිතර නිල් පැහැති ඩෙනිම් කලිසමක් ඇඳ ටීෂර්ටයකින් සැරසී සිටින සිරිපාලගේ අතෙහි පවුම් ගණනක අත්පලඳනාවක් හෙවත් බ්‍රේස්ලට් එකක් ඇත.
අපේ තාත්තා කරපු කසිප්පු බිස්නස් එක මම අත් හැරියා. දැන් මම පොලියට සල්ලි දෙනවා. ඉඩම් උකස් ගන්නවා. මළගෙවල්වල බූරුවා ගසන එක වැරදි විදිහට දකින අය ඉන්නවා. හැබැයි බොහෝ මළගෙවල්වල අපි නැත්නම් රෑ දහය දොළහ වෙන කොට කවුරුත් නැහැ. මළගෙවල්වලට එන අයගෙන් ගොඩාක් දෙනෙක් රෑ දොළහ වෙනකොට යනවා. ගෙදර කට්ටියත් ඊට පස්සෙ නිදාගන්නවා. අපි තමයි පාන්දර දෙක තුන වෙනකම් ඇහැරිලා ඉන්නෙ.
මම ගොඩාක් මළගෙවල්වලට හත් දවසේ දානයට හාල්, තුනපහ ගිහින් දෙනවා. ඒ හින්දා සමහරු මට මළගෙදර බූරුවා ගහන්න ඉඩ දෙනවා.
මළගෙවල්වල ඇවිත් බූරුවා ගහන්න වෙනම කට්ටියක් ඉස්සර හිටියා. දැන් එහෙම නැහැ. මොකද දැන් දවස් ගණන් තියෙන මළගෙවල් අඩුයි. එනිසා රේස් බයි රේස් දාන අය, විනෝදයට බූරුවා ගසන, පොලියට සල්ලි දෙන අය වගේ පිරිස තමයි දැන් එන්නෙ. සිරිපාල වර්තමාන තත්ත්වය පැහැදිලි කළේය.
හොඳ රැකියාවල් කරන අයත් සමහර වෙලාවට මළගෙවල්වල බූරුවා ගසන්න එනවා. සමහර මළගෙවල්වලදී අපිට පාඩුයි. අපේ දෙතුන් දෙනකුත් සෙල්ලම් කරනවා. නැත්නම් පාඩුයි. කාඩ් කුට්ටමේ සෙල්ලම් දමමින් අපි, අපේ අයට දිනුමක් යන විදිහට සෙල්ලම් කරන්න උත්සාහ ගන්නවා. හොඳ බූරුවා කප්පිත්තො ආවොත් අපිට ඒ සෙල්ලම් බැහැ. ඒ වෙලාවට අපි අපේ අය ඔට්ටු දාන එක අඩු කරනවා. සිරිපාල බූරුවා සෙල්ලමේ රහසක් ද හෙළි කළේය.
පොලිසියෙන් පැන්ණොත් මොකද කරන්නෙ… මම විමසුවෙමි.
පොලිසියේ ඉන්න ගොඩාක් අය අපේ යාළුවො… අලුතෙන් ඕ.අයි.සී. මහත්තයෙක් ආවහම තමයි ටික දවසක් කරදර. ඊට පස්සෙ එයාලට අපි උදවු කරනවා. පොලිසියේ අයගේ ගෙවල්වල උත්සවවලදී, සාදවලදී අපි මත්පැන් බෝතල් අරගෙන දෙනවා. සමහරුන්ට අතමාරු දෙනවා. ඒ නිසා අපි මළගෙයක බූරුවා ගසන්න යන විට යන මළගෙය ගැන එයාලට කියනවා. මළගෙදර අය විරුද්ධ නැත්නම් ෂේප් එකේ කරගෙන යන්න කියලා කියනවා.
මත්පැන්, මත්ද්‍රව්‍යත් මේ අතර අලෙවි කරනවා නේද?
ඒක මම නම් කරන්නෙ නැහැ… මේක ක්‍රීඩාවක්… එනිසා මම ඒවා කරන්නෙ නැහැ. හැබැයි එන අය ළඟ මත්පැන්, ගංජා වැනි දේවල් ඇති.
සූදු ඔට්ටු කොහොමද?
සමහර බූරු පොළවල්වල රුපියල් ලක්ෂ දහය දොළහ වැටෙන වේලාවල් තියෙනවා. ඒ අතරෙ සමහරු ඉඩම්, වාහන උකස් තියලා සෙල්ලම් කරනවා.
මළගෙවල්වල බූරුවා ගැසීම හොඳද? අවසාන වශයෙන් මම සිරිපාලගෙන් ඇසුවෙමි.
හොඳ ද… නරක ද… කියලා දෙයක් නැහැ. මළගෙදරකට ඕන කෙනෙක්ට එන්න පුළුවන්. රෑට නිදහසේ ඉන්න පුළුවන්. පොලිසියත් අපිට පොඩි චාන්ස් එකක් දෙනවා. ඒ හින්දා අපිත් මළගෙවල්වල බූරුවා ගහන්න කැමැතියි. සිරිපාල දෙපැත්තටම බර නොවී පිළිතුරක් දුනි.
උපාලි ද සේරම්