ආයෙ නම් බඳින්න බෑ

427

සරත්චන්ද්‍ර පත්ත`ඩුවන

panchathantra

එක්තරා වනාන්තරයෙක බොහෝම සැකසුරුවම් අනාගතයක් ගැන නිතරම හිතන නියම ගොන් කපල් එකක් වාසය කළා! මේ වෘෂභ ජෝඩුව බොහෝම සතුටින් සොමියෙන්, තණ බුදිමින් ඇවිදිමින් නිදහසේ හැන්දෑවට සුපුරුදු විදිහට තමන්ගේ නවාතැන වන විශාල ඇටඹ ගසක් මුලට පැමිණ පැත්ත වැටෙනවා. ඊටපස්සේ දෙන්නා එදා දවසේ සිදුවන හැමදෙයක් ගැනම සාකච්ඡා කරනවා ! හෙට දවස ගෙවන්නේ කොහොමද කියලා ප්ලෑන් කරනවා! සන්රයිස් එකත් සමගම දෙන්නා ප්ලෑන් කරගත් පරිදි වැඩකටයුතු ආරම්භ කරනවා. වැදගත් දේ තමයි මොනදේ කරන්න ගියත් එළදෙන ගොනා පස්සෙන්මයි. නැත්නම් එළදෙන පස්සෙන්මයි ගොනා !ඒ මොකවත් අවිශ්වාසයකට නෙමෙයි. හරි විදියට ජීවිතය ගෙනියන්න ඕනේ හින්දා !බැරි වෙලාවත් ගොනා කාණුවේ ගියොත් එළදෙන කෑ ගහනවා…. මොකද අනේ මෙච්චර ඉඩකඩ තියෙද්දී ඔයා කාණුවේ යන්නේ කියලා! එතකොට ගොනා කියනවා අපි යන හැම තැනක්ම සමතලා නෑනේ ! වළ ගොඩැලි කඳු හෙල් අනන්තයි අප‍්‍රමාණයි…. හැම වෙලාවෙම සමතලා බිමේම ගමන් කරන්න පුරුදු වුණොත් වළක් ගොඩැල්ලක් තරණය කරන්න වුණදාට…. ඒක එච්චර ලේසි නෑ කියලා! ඒකත් ඇත්ත ! ඊට පස්සේ එළදෙනත් ගොනා අනුගමනය කරනවා ! මේ විදියට සාමයෙන් එකිනෙකා අනුගමනය කරමින් ගොන් දෙමහල්ලෝ ගෙන යන පේ‍්‍රමනීය ජීවිතය හරිම සුන්දරයි ! ගැටුම් නෑ… වලි නෑ…. කචල් බචල් නෑ….බැඳපු දා වගේම දෙන්නා අතර තියෙන්නේ නියම පොලිෂ් සොලිඞ් සුන්දර ආදරයක්! පවුලේ දරුවෝ දෙන්නයි !වැඩිමල් පුතා දැන් වියට්නාම් සයිගොන්වල කැලෑ විශ්වවිද්‍යාලයක තෘණ විද්‍යාව පිළිබඳව විශේෂ උපාධියක් හදාරනවා !හැබැයි ඒ ගැන නම් මහ ගොනාගේ එච්චර මනාපයක් නෑ! මොකද එයා කියන්නේ ඔය තෘණ විද්‍යාව වගේ විෂයක් ස්පෙෂල් කරනවාට වඩා සත්ත්ව පාලනය වගේ විෂයක් ස්පෙෂල් කළානම් වනාන්තරයේ පවතින ජොබ් ඩිමාන්ඞ් එකට අනුව හොඳ තැනකට යන්න පුළුවන් කියලා.

 ඔව් ඉතිං ඔයා ඕවා ගැන හොඳට දන්නවානේ!, ගවනර්, ගොන්පියාගේ කතාවට ගොන් මමී අනුකූලතාව දක්වනවා!

 කොහොමද තෘණ විද්‍යාවට වඩා කැටල් ෆාමින් ස්පෙෂල් කරපුවාම විශේෂ තැනක් ලැබෙන්නේ !,

 මෙහෙමනේ කෞමුදිතා…. පුතාගේ හැකියාවන් දක්ෂතාවයන් එක්ක සත්ත්ව පාලනය ස්පෙෂල් කළාම මේ වගේ කාලෙක කිසිම අඩුපාඩුවක් නැතිව පාලකයෙක් වෙන්න පුළුවන්නේ….. එහෙම නැතුව තෘණ විද්‍යාව වගේ විෂයක් ස්පෙෂල් කරලා මොනවද කරන්න පුළුවන් !,

 හැබෑට ඩලා ඔය තෘණ විද්‍යාව ඉගෙන ගෙන වැඩක් නැද්ද?,

 හෙහ් ! මොනවද ඉතිං… උලා කන්න තමා පුළුවන්.

 හැබැයි ඉතිං එහෙම බලන කොට ඒකත් ඉතිං මේ කාලේ හැටියට නොවටින්නේම නෑ නේද?

 ඔයා දන්නේ නෑ කෞමුදිතා අද මේ වනාන්තරයේ ඉන්න එවුන්ගේ ප‍්‍රමාණය බලපුවාම බාගෙට බාගයක් ඉන්නේ උලා කන එවුන් !

 එහෙම නෙමේ අනේ ! උලා කන්න වුණත් උපාධියක් තියෙනවා නම් පිළිගැනීමක් තියෙනවානේ!,

 ඔන්න ඉතිං එදා දවසත් ගෙවිලා යුවල හැන්දෑකරයේ ඇටඹ ගහ මුල සුපුරුදු විදිහට පැත්ත වැටුනා ! අඳුර තැවරුණ රාත‍්‍රියේ එළදෙන නොහොත් කෞමුදිතා රෙඞ්බුල්ට කිට්ටුවෙලා මෙහෙම කිව්වා !

 ඩලා ! නරකද අපි අපේ නාඹර වස්සගේ ඩිග්රිය ඉවර වුණ ගමන්ම පෙළවහක් කරලා දීලා එක්තැන් කෙරුවොත් !

 මොකද මේ හදිසියේ ඔයාට එහෙම හිතුනේ?

 මෙහෙමයි ! අපි තවමත් පොඩි එකා කියලා හිතුවට දැන් උපාධියක් ගත්ත තරුණ ගොන්නාම්බෙක්නේ!

 හරි !ඉතිං මොකක්ද හදිස්සිය….!

 මෙහෙමනේ අනේ…. ඔයා දන්නේ නැතුව ඇති! දැන් මේකා නිතරම අංපස් බිදිනවා. වෙනදා වගේ නෙමෙයි හරියට කල්පනා කරනවා ! කටින් සෙම පෙරෙනවා වැඩියෙන් කේන්ති යනවා අදුරු තැන්වල වැටිලා නිදාගන්නමයි කල්පනාව. කෝකටත් හොඳයිනේ අවදානමට පෙර සූදානම !……. ඕවා ඉතිං කවදා කෙරුණත් කෙරෙන්න ඕනනේ…..

 මොකක්ද මේ අවදානමට පෙර සූදානම කියලා කිව්වේ ! මොකක්ද තියෙන අවදානම

 ඇයි අනේ …. කොහෙන් හරි ගොන් කඩමාල්ලක් හදිසියේ හරි එල්ලගෙන ආවොත් ඔක්කොම අපේ හෝප්ස් ඉවරයිනේ…මට ආරංචියක් ආවා පුතා විශ්වවිද්‍යාලේ කරත්තයක් දක්කනවා කියලා !

 විශ්වවිද්‍යාලේ යන කොයි එකාද කරත්ත දක්කන්නෙ නැත්තේ ! ගොන්නු පිරිලා ඉන්න තැනක කරත්ත දක්කන්නේ නැත්තං තමයි පුදුමේ…. මහ ගොනා මේ කතාවට එච්චර උන්නදුවක් නොදැක්වූවාට එළදෙන බොහොම කැපවීමෙන් තම පුත‍්‍රයාට ගැළපෙන වැස්සියක් හොයන්න පටන් ගත්තා.

 කොහොම හරි දෙමාසයක් විතර යනකොට උපාධිධාරි ගොන්වස්සාට මැච්වෙන නියම එළ වැස්සියක් හොයාගන්න කෞමුදිතාට හැකිවුණා ගොන් කෙල්ල පෙනුමයි ! සෑහෙන උගත් කමක් තියෙනවා. – ගව මන්ට් එකේ හොඳ රස්සාවක් කරනවා ගොන් කොල්ලගේ රූප සෝබාවට ගොන් නෑම්බිගේ රූප සෝබාවත් හරියටම හරි වලිගේ ස්ටේ‍්‍රට් කරලා කුරවල කියුටෙක්ස් ගාලා. කාලේ හැටියට මොඞ්වෙලා පෙනුමට ඉන්නවා.

 දෙන්නට දෙන්නා කැමති වුණා. වැඩිකල් යන්නේ නැතුවම දෙපැත්තේම කැමැත්ත ඇතුව බොහෝම චාමෙට දෙන්නගේ වෙඩිං එකත් කෙරුණා !

 වෙඩිං එකෙන් පස්සේ අලූත් කපල් එක ඕල්ඞ් කපල් එකෙන් වෙන්වෙලා වෙනම පදිංචියකට ගියා!

 අම්මේහ් !යාන්තං ඇති, මගේ ඔළුවේ තිබුණ මහා බරකින් නිදහස් වුණා ! වැඩටික ඔක්කොම සුපිරියටම කෙරුණා ! දැන් ඉතිං ඒ දෙන්නගේ ලයිෆ් එක ඒගොල්ල ගෙනියාවි, තම පුත‍්‍රරත්නය වූ ගොන් වස්සාව බන්දලා දුන්නට පස්සේ කෞමුදිතා රෙඞ්බුල්ට කිව්වා

 වෙඩිං එකෙන් තුන් හාර මාසයකට පස්සේ දවසක් හැන්දෑවේ අලූත බැඳපු ගොන්වස්සා වලිගයත් උස්සාගෙන නාසයෙන් සෙම පෙරා ගෙන පිඹිමින් දැඩි කේන්තියකින් වගේ එක පිම්මේ මව්පියන් බලන්නට ආවා

 මොකද මේ තනියම ! අර ළමයවත් එක්ක ගෙන එන්න එපායැ !, බොහොම නොසන්සුන්කමන් වගේ හිටපු වහු පුතාගෙන් මෑනියන් වූ වසුමා, දෙන විමසා සිටියා

 කොහෙ එක්කන් එන්නද වැඩ …. වැඩ… වැඩ මීටිං…. මීටිං… මීටිං ඩිරෙක්ටර් එක්ක මීටිං… !සෙකටරි එක්ක මීටිං… !ස්ටාෆ් එක්ක මීටිං….!උදේ පිටවුණාට පස්සේ ආයෙත් ආපහු එන්නේ දෙගොඩ හරියේ මේක මාර රස්සාවක්නේ ! මං හොයලා බැලූවා…. බලපුවාම මේකි වෙලාවටත් කලිං ඔෆිස් එකෙන් ගිහිල්ලා… තව ගොනෙක් එක්ක දඩාවතේ යනවා මං ඒකිව ඩිවෝස් කරලා ඌටම බාර දුන්නා !,

 බැඳපු දාම නහ විද්දා නම් ඉවරයිනේ ! දැන් කාලේ එළ වැස්සියන්ගේ නහ විදින්නේ නැතුව පවුල් කන්න බෑ !,

 මේ කතාව අසා සිටි මහ ගොනා එයාගේ අයිඩියා එක කිව්වා !.

 නහ විදිලා මට ගෑණු තියාගන්න ඕන නෑ, මැරේජ් ඒක ගැන ෆ‍්‍රස්ටේ‍්‍රටඞ් ගොන් පුතා කියා සිටියා

 ඩෝන්ට්වොරි සනා !එක වැස්සිද මේ වනාන්තරයේ ඉන්නේ ! බලමු අපි ඔයිට වැඩිය හොඳ සුරබි දෙනක් !,

 ඕන්න මමී මාව ආයෙත් ගොනා කරන්න හදනවා වෘෂභ ගෝත‍්‍රයේ වුණත් මං සිංහයෙක් වගේ හිටපු එකෙක් ! මේ සක්කරවට්ටම හින්දා නිකං පීචං වුණා… කොහෙද මමීගෙ හදිසියනේ… හොයලා බැලූවේ නෑ…. දැක්ක ගමන් තීන්දු තීරණ ගත්තා පවුල් කන්න ගියාමයි ඔක්කොම එක්ස්පෝස් වුණේ….

 ඕකිට පාඩමක් උගන්නන්න නම්…. වෙන එකියක් හොයලා ඉක්මණටම තව කසාදයක් කරමු… ඉවරයිනේ !,

 ගොන් අම්මන්ඩිගෙන් පුතාට ආයෙත් යෝජනාවක් ඉදිරිපත් වුණා !

 අපෝ ! ආයේ නං එපා !අයෙත් කසාද නම් එපා ! දෙවැනි සැරේටත් මාව ගොනා කරන්න නං ලෑස්ති වෙන්න එපා !, යැයි කිවූ පුත‍්‍ර වෘෂභයා, ඇටඹ ගහ යට පැත්ත වැටුණා!

 ආදර්ශය : හදිසියේ කෙරෙන කසාද හදිසියේම දික්කසාද බවට පත්වේ

advertistmentadvertistment
advertistmentadvertistment