අන්තර් ජාලය ඔස්සේ පළ කර තිබූ දැන්වීමකට අනුව වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකතන දෙකක් මිලදී ගැනීම සඳහා පැමිණි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු මාකොළ, සිරිමංගල පාර ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් ඔහුට පහර දී මරණ බවට තර්ජනය කොට ඔහු සතු රුපියල් අට ලක්ෂ තිස්හය දහසක් පමණ වටිනා මුදල් හා දේපළ මංකොල්ලකන ලද තරුණයින් හතර දෙනකු සපුගස්කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සමගම මොවුන් විසින් මංකොල්ල කන ලද ජංගම දුරකථන තුනක් මේ වනවිට සොයා ගෙන තිබෙන අතර එම මුදල් සොයා ගැනීමට ද දැන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපාරිකයා විසින් අන්තර් ජාලය පරිහරණය කළ අවස්ථාවක වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකතන දෙකක් අලෙවි කිරීම සඳහා පළ කර තිබූ දැන්වීමක් දැක එහි ජංගම දුරකතන අංකයකට කතා කොට සම්බන්ධව වී එය පරීක්ෂා කර මිලදී ගැනීම සඳහා ඊට පෙර දින පස්වරුවේ පැමිණ ඇත.
ඔහුට පැමිණීම සඳහා ගමන් මාර්ගය එම මංකොල්ලකරුවන් විසින් ජංගම දුරකථනය ඔස්සේ පෙන්නුම් කර තිබෙන අතර ඒ අනුව ඔහු සිය මෝටර් රථයෙන් කිරිබත්ගොඩ නගරය පසුකර මාකොළ පාරේ සිරිමංගල පාර ප්‍රදේශයට පැමිණ ඇත.
එහිදී ඔහු ගමන් ගත් මෝටර් රථය තරුණයින් දෙදෙනකු විසින් නවතා ඇපල් වර්ගයේ ජංගම දුරකතන දෙක පෙන්වීමට බව පවසා ඒ අසල තිබෙන කුඩා නිවසකට කැඳවා ගෙන ගොස් තිබෙන අතර ඉන්පසුව එම නිවසට තවත් තරුණයින් දෙදෙනකු පැමිණීමෙන් පසුව නිවසේ දොර අගුළු දමා ඔහුට පහර දී මරණ බවට තර්ජනය කොට ඔහු පැළඳ සිටි පවුම් දෙකහමාරක් බරැති රන් මාලය හා ඔහුගේ සාක්කුවේ තිබූ රුපියල් ලක්ෂ දෙකක මුදලක් මංකොල්ලකා ඔහුගේ
මුදල් පසුම්බියේ තිබුණු ඒ.ටී.එම්. බැංකු කාඩ් පතේ රහස් අංකය ලබාගෙන එම බැංකු ගිණුමෙන් රුපියල් තිස්හය දහසක මුදලක් ලබාගෙන තවත් රුපියල් ලක්ෂයක මුදලක් මංකොල්ලකරුවන්ගේ බැංකු ගිණුමකට බැර කර ගෙන ඇත.
මෙම අකරතැබ්බයට මුහුණ පෑ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයා ගම්පහ, මුදුන්ගොඩ
ප්‍රදේශයේ පදිංචි හතළිස් පස් හැවිරිදි තැනැත්තකු වන අතර මංකොල්ලකරුවන් විසින් ඔහු කැඳවා ගෙන ගිය මාකොළ සිරිමංගල පාර ප්‍රදේශයේ නිවෙස ඔවුන් කුලී පදනම මත ලබා ගත් නිවසක් වන බවද කියැවේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් භතර දෙනා රත්මලාන ප්‍රදේශයේ පදිංචි විසි එක්වන වියේ පසුවන්නන් වෙති.
මෙම වැටලීමට කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක හා කැලණිය සහකාර පොලිස් අධිකාරි ජී. ගුණතිලක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සජිත් මනෝහර රූපසිංහ, අපරාධ මර්දන විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මහින්ද පතිරණ, පොලිස් සැරයන්වරුන් වන අබේරත්න (19334), පෙරේරා (32560), තිලකරත්න (36589), පොලිස් කොස්තාපල්වරුන් වන උදුගොඩ (26487), ප්‍රසන්න (71772), ජයසිංහ (103658) හා සංකල්ප ( 101260) යන නිලධාරීන් සහභාගිී වූ අතර සැකකරුවන් හතර දෙනා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් චමින්ද මහතා (478) කටයුතු කර තිබිණි.
දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන සහ බියගම – සුදත් පුබුදු කීර්ති