කොරියාවෙන් ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් – කොරියන් අගමැති මෙරට අගමැති දිනේෂ්ට කියයි

31

කොරියානු අගමැති හන් ඩක් සූ මහතා සහ ශ්‍රී ලංකා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් 04 වැනිදා සෝල් නගරයේ පිහිටි අගමැති කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදී කොරියානු අගමැතිවරයා ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර කරන බව ප්‍රකාශ කළේය. කෘෂිකාර්මික, ඉදිකිරීම් හා වෙනත් කර්මාන්ත සඳහා තම රටේ රැකියා ලබාදෙන ශ්‍රම බළකායට අමතරව සෞඛ්‍ය සේවා හා වෘත්තික සේවා සඳහා නව රැකියා ලබාදීමේ හැකියාව පිළිබඳව ද කොරියානු අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

පසුගිය වකවානුවේ පැවති මූල්‍ය අර්බුදය හමුවේ නැවත නැගී සිටින ශ්‍රී ලංකාවට, තම රට පැරිස් සමාජයේ සාමාජිකයකු ලෙස ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යෑම සඳහා ඒ තුළ සෑම විටම පෙනී සිටින බව කොරියානු අගමැතිවරයා සඳහන් කළේය.

පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාව, ධීවර ක්ෂේත්‍රය හා ඒකාබද්ධ ආයෝජන ක්ෂේත්‍රයන් හි දැනට ගිවිසගෙන ඇති ව්‍යාපෘති එලෙසම ක්‍රියාත්මක කරන අතර ක්‍රියාත්මක කළ යුතු ඉදිරි ව්‍යාපෘති සඳහා වන පූර්ව කටයුතු සඳහා වන කාලය අවම කිරීමට පියවර ගන්නා ලෙස කොරියානු අගමැතිවරයා ඉල්ලා සිටියේය. පාවෙන සූර්ය බල ශක්ති ඉදිකිරීම් සඳහා වන ඉඩ තව තවත් වැඩි කිරීමේ වැදගත්කම කොරියානු අගමැතිවරයා පෙන්වා දුන්නේය.

කොරියානු ජනතාවද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ඉතා ප්‍රියතාවයක් දක්වන බවත්, ලෝකයේ ආකර්ෂණීයම සංචාරක ගමනාන්තයක් වන ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ වැඩි ඉඩකඩ ලබාදීමට සහය දැක්වීමටද කොරියානු අගමැතිවරයා එකඟත්වය පළ කළේය.

ශ්‍රී ලංකා අගමැතිවරයා අධ්‍යාපන අමැතිවරයාව සිටියදී, කොරියානු භාෂාව අධ්‍යාපන විෂයක් ලෙස ඇතුළත් කිරීමට ගත් පියවර කොරියානු අගමැතිවරයාගේ පැසසුමට ලක්විය. කොවිඩ් ව්‍යසනය හමුවේ දුන් සහයෝගය ද බෙහෙවින් අගය කළේය. අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව හා කොරියාව අතර ඇති සම්බන්ධතා තව තවත් ශක්තිමත් වීමට මෙකී කාරණා ද එක්වන බවත් කොරියානු අගමැතිවරයා පැවසීය.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තව තවත් පුළුල් කිරීම කෙරෙහිද අගමැතිවරුන් දෙපළ මෙහිදී සාකච්ඡා කළේය. කොරියානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින්, රාජ්‍ය ඇමැතිවරුන් වන පියල් නිශාන්ත, අනුපම පැස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අගමැති ලේකම් අනුර දිසානායක, කොරියාවේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රී පානබොක්කේ, අගමැති මාධ්‍ය ලේකම් ලලිත් රෝහණ ලියනගේ මෙම අවස්ථාවට එක් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment