අසරණ ජනතාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ඉදිරිපත් කළ අයවැයක් – ඇමැති ප්‍රසන්න රණතුංග

92

අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් පව් සමාකිරීමේ කතාවක් කළා – ඉම්තියාස් බාකිර් මාකර් මහතා (සජබ)

රටේ ආර්ථිකය විනාශ කළේ කව්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට ගෞරවය සහ ස්තුතිය පුද කරනවා – මෛත්‍රීපාල සිරිසේන මහතා (ශ්‍රීලපොපෙ)

නීත්‍යනුකූල පොලිසිපති කෙනෙක් රටේ නොමැතිවීම අවාසනාවක් – විමල් වීරවංශ (ශ්‍රීලපොපෙ)

වත්මන් ආර්ථික අර්බුදයෙන් පීඩා විඳි අසරණ ජනතාව එම පීඩනයෙන් මුදවා ගැනීමට ඉදිරිපත් කළ අයවැයක් ලෙස මෙවර අයවැය ලෙස මා දකින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නිවාස හා නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (18දා) ප්‍රකාශයක් කරමින් පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. ජනාධිපති විසින් පසුගිය 13දා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද 2024 අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදය සම්බන්ධයෙන් පස්වැනි දිනට විවාදය ආරම්භ කෙරිණ.

පත් කළ මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මහතා (සජබ)-

අද අපේ රට බංකොලොත් වෙලා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපේ රටේ ආර්ථික අර්බුදයක් තිබෙනවා. මම දැක්කා අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් පව් සමාකිරීමේ කතාවක් කළා. ඒක අමු අමුවේ කළ ප්‍රකාශයක්. දැන් අපේ රට බංකොලොත්වීම ගැන ඓතිහාසික තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙනවා. අපේ ජනතාව අද ඉතාම අසරණ තත්ත්වයට පත් වෙලා. රටත් ජාත්‍යන්තරය ඉදිරියේ දැඩි ලෙස අසරණ වී සිටින්නේ. අපේ රට තුළ පුළුල් බදු නිදහස්කරණයක් සිදු කළා. වරාය නගර පනත මගිනුත් එම නිදහස් කිරීම කර තිබෙනවා. අපි දන්නවා සෑම අයවැයකින්ම ආදායම් වැඩි කර ගැනීමට යෝජනා කරනවා. 2023 අයවැය මගිනුත් කළ ආදායම් වැඩි කිරීම් සිදුවෙලා නෑ. මේ අයවැයටත් විවිධ යෝජනා ඉදිරිපත් කළා. ඇමැතිවරුන්ගේ හිතලු අයවැය යෝජනා ලෙස එක් කර තිබෙනවා. අද අපේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර ඉතාම බරපතල තත්ත්වයකට පත් වී තිබෙනවා. බුද්ධි ගලනය ඉතා වේගයෙන් සිදු වෙනවා. පාසල් දරුවන් විශ්ව විද්‍යාල දරුවන් බඩගින්නේ ඇද වැටෙනවා. සිය දිවි නසා ගන්නවා. මෙහෙම තිබෙද්දී 2048 දී රට හොඳ තත්ත්වයකට එනවා යැයි කියමින් ඡන්දය වෙනුවෙන් අයවැය යෝජනා ගෙන ඇවිත් තිබෙනවා. (නියෝජ්‍ය කතානායක මූලිසනයට පැමිණේ)

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා (ශ්‍රී.ල.පො.පෙ)-

මේ අයවැය මම දකින්නේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳි අසරණ ජනතාව එම පීඩනයෙන් මුදවා ගැනීමට ඉදිරිපත් කළ අයවැයක් ලෙසයි. විපක්ෂයේ සමහරු උත්සහ කරනවා මෙම අර්බුදය අද ඊයේ සිද්ධ වුණා කියලා කියන්න. මේක රාජපක්ෂවරු යටතේ පොහොට්ටුව යටතේ සිද්ධ වුණා කියලා කියන්නත් ඒ අය උත්සහ කරනවා. විපක්ෂය උත්සහ කරන්නේ මෙම අයවැයෙන් තම දේශපාලන වාසි ලබා ගන්නයි. ඔවුන් ඒ සඳහාම පසුගිය දිනක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් නඩු තීන්දුව ගැනත් කියනවා. එම නඩු තීන්දුව වැරදි විදිහට අර්ථකතනය කරන්න ඔවුන් කටයුතු කරනවා. නඩු තීන්දු පිළිබදව අපි අධිකරණයට ගරු කරනවා. ඒ ගැන අපි කතා කරන්නේ නැහැ. මෙම නඩු තීන්දුව හරහා කාටවත් කියන්න බැහැ ආර්ථිකය කඩා වැටෙන්න මේ කණ්ඩායම හේතු වුණා කියලා කියන්න. ඒ නිසයි අපි ඉල්ලීමක් කළේ තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එදා මේ අසීරු අවස්ථාවේදී සියලු‍ දේශපාලන පක්ෂ නායකයින්ට එකතු වෙන්න කියලා ආරාධනා කළා. නමුත් ඒ වගකීම භාර ගන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. අරගලයෙන් පස්සේ දේශපාලඥයින්ට අභියෝගයක් තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් මණ්ඩලය ඉවත් වුණා. රට භාර අරගෙන කරන්න කියලා නමුත් රට භාර ගන්න ඒවෙලේ කවුරුත් හිටියේ නැහැ. අද නින්දෙන් නැගිටලා වගේ සුන්දර කතා කියනවා. රට ගිනි ගොඩක් මැද තිබුනේ කියලා හැමෝටම අමතක වෙලා අද. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එම භාරදූර වගකීම භාරගත්තා. ඒ සදහා ඉදිරිපත් වුණා. ඒ නිසා තමයි අපිට අද මෙහෙම හරි කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතුමා පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. ජාතික ලැයිස්තුවෙන් ආවේ. මේ වගේ විවේචන කරන්න හොඳ නැහැ. 69 ලක්ෂයක් ඡන්දය දීලා පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරය තිබිලත් අපිට ඒක කරගන්න බැරි වුණා. අපි ඒක පිළිගන්නවා. අවාසනාවකට එවැනි සිදුවීම්වලට මුහුණ දෙන්න සිදු වුණා. එවැනි අවස්ථාවක මේක භාරගද්දි අපි රනිල් මහත්තයට උදව් කරේ රට දේශපාලනයට වඩා ඉදිරියෙන් තියලයි. අපි විපක්ෂයේ ඉද්දි එතුමාව විවේචනය කළා. විපක්ෂ නායකතුමා ඇතුළු මේ මන්ත්‍රීවරු හැමෝම හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි තලතා අතුකෝරල මහත්මිය(සජබ)-

පසුගිය දවසක බීඑම්අයිසීඑච්හිදී පැවැති උත්සවයකදී උගත් යැයි කියන කෙනෙක් කියලා තිබෙනවා රාජපක්ෂලා ගැන අධිකරණය දුන්නු තීන්දුව පිළිගන්නේ නෑ කියලා. අවශ්‍ය නම් අපට ජනතාව පාරට බස්සන්න පුළුවන් කියලා. මම හිතන්නේ රට හරි පාරට අරගෙන යන යුගයක රාජපක්ෂ මහත්තුරු බේරගන්න හදන මහත්වරු රටේ ජනතාව බිල්ලට දෙන්න හදන්නේ මොකටද කියලා අපට හිතෙනවා. දැන් තේරීම් කාරක සභා පත් කිරීම ගැන කියනවා. මේවා ගැන කතා කරන්න නමුත් අපට මතකයි එහෙම තේරීම් කාරක සභාවන් පත් කරලා අධිකරණයේ මුල් පුටුවල සිටි අයව ඉවත් කරනවා. යුද්ධය වවාගෙන කාලා රටට කරපු හරිය අපි දන්නවා. අපිත් කැමතියි මේ රටේ වෙනසක් දකින්න. අපිට නඩු තීන්දු ගැන කතා කර කර ඉන්න අවශ්‍ය වන්නේ නෑ. මේ ලබන වසර සඳහා අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කරලා තිබෙනවා. මහා පරිමාණ ලෙස බදු අඩු කළා. සීනි වංචාවකුත් කළා. අපට කණගාටු වත්මන් ජනාධිපතිත් මේ දේ දැන් කරගෙන යන එක. ඇයි මේ බදු වංචා වෙන්න දෙන්නේ?

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා (ශ්‍රී.ල.පො.පෙ)-

ඊයේ දින රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේදී පොලිස්පතිගේ ධුර කාලය නැවතත් දීර්ඝ කිරීම දෙවැනි වතිවටත් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මීට පෙරත් ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කළ පොලිස්පති තමයි දැනටත් ඉන්නේ. මේ නිසා නීත්‍යනුකූල පොලිසිපති කෙනෙක් අපේ රටේ නෑ. මේක අවාසනාවන්ත තත්ත්වයක්.

රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා-

බදු වැඩි කළත් සමහරු අකමැතියි. බදු අඩු කළත් අකමැතියි. හැබැයි මේ කියන අය බලයට ආවහම බදු වැඩි කරන එක සාධාරණීය කරනවා. මේ අයවැයේ පොතේ තිබෙන ඒවා කරන්න පුළුවන්ද අහනවා. නමුත් අපි කියනවා මේ යෝජනා ලබන වසරේ අපි ක්‍රියාත්මක කරනවා කියලා. පළාත් සභා ක්‍රියාත්මක නොවුනත් අපි ඒ සඳහා මුදල් වෙන් කර විශාල වැඩ කොටසක් කරගෙන යනවා. පළාත් පාලන ආයතන සඳහාත් මිලියන 1000ක් වෙන් කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දේශීය සහ විදේශීය සංචාරකයන් එන ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩි දියුණු කරන්න. දිය ඇලි තිබෙනවා ඒවාට යන්නවත් තැනක් නෑ.

පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා (ශ්‍රී.ල.පො.පෙ.) –

කවුරු මොනවා කිව්වත් මේ රටේ ආර්ථිකය විනාශ කරලා තිබෙන්නේ කව්ද කියලා දැන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තිබෙනවා. ඒ නිසා අපි අපේ ගෞරවය සහ ස්තතුිය පුද කර සිටිනවා ඒ තීරණය සම්බන්ධයෙන්. ඒ වගේම මේ ගැන තේරීම් කාරක සභා දමන්නේ නම් අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා. ඒ විනිසුරන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා ප්‍රශ්න කරන තේරීම් කාරක සභා ප්‍රබුද්ධ නෑ. අපේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා සම්පූර්ණයෙන්ම අසාර්ථකයි.

ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා-

ගමේ ගොවියාගේ හද ගැහෙන රාවය නොදැන සීතල කාමරවල හිඳිමින් ගත් තීරණ නිසා හිටපු ජනාධිපතිවරයාට තනතුරෙන් යන්න වුණා. අද රට පත්ව තිබෙන තත්ත්වය අනුව මමත් යම් ආකාරයකට දායක වුණා කියලා මම හිතනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අබ්දුල් හලීම් මහතා (සජබ)-

රාජ්‍ය සේවකයන්ගේ පමණක් වැටුප් වැඩි කිරීම සුදුසු නැහැ. ඒ වෙනුවට කළ යුත්තේ බදු අඩු කිරීමයි. අස්වැසුම සම්බන්ධයෙන් අභියාචනා ගොඩගසා තිබෙනවා. ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු ඉතා ඉක්මණින් කඩිනම් කරන්නේ නම් එය සුදුසුයි.

ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා-

අතීතයත් සමඟ බලන විට මෙවර ඉදිරිපත් කර ඇති අයවැය ඉතා සාර්ථකයි. එය ප්‍රායෝගිකව සාර්ථකව කරගැනීමට අපි සහාය දෙනවා. නවීන තාක්ෂණය හඳුන්වා දීමට අපි පියවර ගැනීමෙන් අපේක්ෂා කරන්නේ බදු ආදායම් නිසි ලෙස ලබා ගැනීමටයි. මේ වන විට ඒ සඳහා සාධනීය පියවර රැසක් අනුගමනය කරමින් තිබෙනවා.

ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා-

මේ අයවැය සම්බන්ධයෙන් එක කණ්ඩායමක් සතුටින් කතා කරනවා. ඇතැම් කණ්ඩායමක් දුකෙන් කතා කරනවා. තවත් කණ්ඩායමක් පිස්සු බලු‍ රෝගයට දෙන එන්නත ගත්තා වගේ පිස්සුවෙන් දොඩවනවා. දැඩි ආර්ථික අර්බුදයක් තිබෙන අවස්ථාවේ සියලු‍ දෙනා එක්ව රට ගොඩගැනීමට කටයුතු කරනවා නම් හොඳයි. සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී අපි කටයුතු කළ යුතුයි. හැමදාම දෙපැත්තට වෙලා බෙදිලා විපක්ෂය කරන්නේ පටු දේශපාලනය. සුරපුරයක් කරන්න කතාවට පමණක් සීමා වෙලා හරියන්නේ නැහැ වැඩ කරන්නේ නැතිව උඩු බිරුවාට වැඩක් නැහැ. පරණ තත්ත්වයට රට නැවත පත් කළ යුතුයි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා (ශ්‍රීලපොපෙ)

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තීන්හි අභිවෘද්ධියක් ඇති කිරීමට පියවර ගත යුතුයි. රාජ්‍ය මූල්‍ය විනය සෑදීමට අවධානය යොමු කළ යුතුයි. ජාතික නිෂ්පාදනය වැඩි කිරීම කෙරෙහිද රජය අවධානය යොමු කළ යුතුයි. වැටුප් මත බදු නොකළ යුතු බවට අපි රජයට ප්‍රකාශ කළා. අද වන විට බුද්ධිගලන ප්‍රශ්නයක් බවට බදු ප්‍රතිපත්තිය හේතු වුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 12,000 ක් සිටිය යුතු තැනට අද සිටිනුයේ 6000 යි.

පාර්ලිමේන්තුව නැවත අද (20දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment