කිරි ටොෆි දීලා හරක්කටාට පනින්න උදව් කරන්න හැදූ රාළහාමි අතුරුදන් – සීඅයිඩීයේ ප්‍රශ්න කරද්දී එස්අයිගේ ගිනිඅවිය පැහැර ගන්න හදලා

434

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක (මිදිගම චින්තක) හෙවත් හරක්කටාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී ප්‍රශ්න කරගෙන යන අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයකුගේ (එස්අයි) ගිනි අවිය පැහැර ගැනීමට තැත් කර පොර බදා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සඳහා පොලිස් කොස්තාපල්වරයකුගේ සහාය ලැබී ඇති අතර මේ වන විට අදාළ පොලිස් කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනගොස් ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ‘හරක් කටා’ගෙන් ප්‍රශ්න කිරීම සඳහා පෙරේදා (10 වැනිදා) අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා තිබිණි. මෙහිදී හරක් කටාට උපකාර කළා යැයි කියන පොලිස් කොස්තාපල්වරයා තමා ගෙදරින් ගෙනා කිරි ටොෆි බව පවසමින් එතැන සිටි අනෙක් පොලිස් නිලධාරීන්ට යම් කිසි ආහාරයක් ලබා දී ඇති අතර ඒවා කෑමෙන් දෙදෙනකු මත්වී ඇති බව ද වාර්තා වේ.

ප්‍රශ්න කරමින් සිටියදී හරක් කටාගේ ඉල්ලීම පරිදි ඔහු වැසිකිළියට රැගෙන ගොස් ඇති අතර දෙඅත් බැඳ තිබූ මාංචු ගලවා ඇත්තේ හරක් කටාට උදව් කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා විසිනි. එම කොස්තාපල්වරයා හරක් කටාගේ මාංචු ලිහිල් කර ඇති අතර නැවත එය අගුළු ලා නොතිබිණි.

ප්‍රශ්න කිරීම් සඳහා නැවතත් රැගෙන ආ හරක්කටා ටික වෙලාවකින් විශේෂ කාර්ය බළකායේ උපපොලිස් පරීක්ෂකවරයාගේ ඇඟට පැන ඔහුගේ ආයුධය ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර එම උප පොලිස් පරීක්ෂකවරයා හරක්කටා සමග පොරබදා ඔහු පාලනය කරගැනීමට සමත්ව ඇත.

හරක්කටාට පැන යෑමට උදව් කිරීමට උත්සාහ කළ අදාළ පොලිස් කොස්තාපල්වරයා මෙතෙක් අතුරුදන්ව ඇති බවත් ඔහු සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් වාර්තා වේ. විදේශ ගතව සිටි මෙරටට රැගෙන ආ නඳුන් චින්තක නොහොත් හරක් කටා එදා පටන් ප්‍රශ්න කිරීම් සඳහා රැඳවුම් නියෝග මත රඳවා ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය.
හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment