ශෂී වීරවංශට එරෙහි නඩුව වෙනත් උසාවියකට

247

අභියාචනාධිකරණයෙන් නියෝග

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ, වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කිරීම ගැන පවරා ඇති නඩුව වහාම වෙනත් මහෙස්ත්‍රාත් අධිකරණයක් හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය ඊයේ (11 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට නියෝග කළේය.

එම නඩුව සම්බන්ධයෙන් මින් ඉදිරියට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයක් නොපවත්වන ලෙසටත්, අද (12) කැඳවා කොළඹ අංක දෙක අතිරේක මහෙස්ත්‍රාත්වරිය හමුවට යොමු කිරීමට පියවර ගන්නා ලෙසටත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් නියෝග කළේය.

පෙර නඩු දිනයේදී ශෂී වීරවංශ මහත්මියට එරෙහිව නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අසනීප තත්ත්වයෙන් පසුවන නිසා නඩුව වෙනත් දිනයකදී කැඳවන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි කනිෂ්ඨ නීතිඥවරයකු අධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබිණි. කනිෂ්ඨ නීතිඥවරයා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර වහාම නඩු විභාගය ආරම්භ කරන ලෙසට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බල කළ බව පෙන්වා දෙමින් ශෂී වීරසිංහ මහත්මිය ගොනුකර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා එම නියෝග කළේය.

තමා අසනීප තත්ත්වයෙන් පසුවීම නිසා එම ඉල්ලීම සිය කනිෂ්ඨ නීතිඥවරයා මගින් අධිකරණය හමුවේ කළ බවත්, එකී සාධාරණ ඉල්ලීමට හෝ උගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉඩ නොදී බලපෑම් කිරීම නිසා ඔහුගෙන් එම නඩුවේ ඉදිරි කටයුතුවලදී සාධාරණ විනිශ්චයක් අපේක්‍ෂා කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අභියාචනාධිකරණයට පෙන්වා දුන්නේය.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගේ අරමුණ වී ඇත්තේ අනිසි ප්‍රමාදයකින් තොරව නඩු විභාගය අවසන් කිරීම බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේය. කෙසේ නමුත් තවදුරටත් එම අධිකරණය හමුවේ නඩුව කැඳවීම සම්බන්ධයෙන් විත්තිය විරුද්ධත්වය දැක්වීම නිසා සුදුසු නියෝගයක් ලබාදීම ගැන විරුද්ධ නොවන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයේදී පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment