මාරක බෝතලයකින් කඳුළු සාගරයක් – 5ක් මරුට – බේරුණු අයටත් අසාධ්‍යයි

486

නාවික හමුදාවේ විජයබාහු ධීවරයන් රැගෙන එන්න මුහුදට

තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ධීවරයන් 6 දෙනකු රැගත් Devon – 05 නමැති යාත්‍රාවේ සිටි ධීවරයන් මුහුදේ පාවී ආ බෝතලයක ද්‍රාවණයක් විදෙස් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත් 05 දෙනකු ඊයේ සවස වන විිට මියගොස් තිබිණි.

මාරක බෝතලයකින් කඳුළු සාගරයක් - 5ක් මරුට - බේරුණු අයටත් අසාධ්‍යයි

මුහුදේ පාවී ආ ලීටර් 05ක බෝතලය පානය කළ Devon – 05 යාත්‍රාවේ ස්කීපර්වරයා ඇතුළු පිරිස අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටින බව එම බෝට්ටුවේ අයකු විසින් ගොඩබිම පිහිටි මධ්‍යස්ථානයට පණිවුඩ හුවමාරු යන්ත්‍රය මගින් දැනුම් දී තිබේ.

පසුව ගොඩබිම මධ්‍යස්ථානයේ පිරිස සිද්ධිය සම්බන්ධයෙන් ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නාවික හමුදාව දැනුවත් කර ඇත. නාවික හමුදාවේ විජයබාහු නෞකාව ධීවරයන් බේරා ගැනීමට වෛද්‍ය ආධාර ලබාදීම සඳහා කණ්ඩායමක් සමග පිටත් කිරීමට කටයුතු කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා ‘දිවයින’ට පැවැසීය.

මාරක බෝතලයකින් කඳුළු සාගරයක් - 5ක් මරුට - බේරුණු අයටත් අසාධ්‍යයි

ජීවිතක්ෂයට පත්වූ ධීවරයන් රැගත් බෝට්ටුව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 365ක් පමණ (කිලෝමීටර් 675) දුරින් ගැඹුරු මුහුදේ තිබුණු බවත් එම ස්ථානයට කඩිනමින් ළඟාවීමට අපහසු බවත් පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙපමණ දුරකට හෙලිකොප්ටර් යානයක්වත් යොමු කිරීමේ අපහසුතා පවතින බවද පැවැසීය.

නාවික හමුදා විජයබාහු නෞකාව මියගිය ධීවරයන් සිටින යාත්‍රාව තිබෙන ප්‍රදේශයට ළඟාවීමට වැඩි කාලයක් ගතවන නිසා එම මුහුදු ප්‍රදේශයේ සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ MV KOTA CAMIL නමැති වෙළෙඳ නෞකාවට ධීවරයන් බේරාගැනීමට උපදෙස් දුන් බවත්, ඒ සමාගම එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සිදුකළ Devon – 03 නමැති බහුදින යාත්‍රාව ද දැනුවත් කර තිබෙන බවත් වික්‍රමසූරිය මහතා කීය.

මාරක බෝතලයකින් කඳුළු සාගරයක් - 5ක් මරුට - බේරුණු අයටත් අසාධ්‍යයි

එම නෞකාව විසින් අසාධ්‍යව සිටි ධීවරයන් දෙදෙනා බේරාගෙන ඇතත් ඉන් එක් අයකු ද මියගොස් ඇති බවත් අනෙක් පුද්ගලයා රැගෙන එම සිංගප්පූරු නෞකාව හම්බන්තොට වරාය දෙසට ගමන් කරමින් සිටින බවත් ඒ මහතා කීය. නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත විජයබාහු නෞකාව ද සිංගප්පූරු නෞකාව රැගෙන එන අසාධ්‍ය රෝගියා භාර ගැනීම සඳහා පිටත්ව තිබෙන බවත් එම රෝගියා විජයබාහු නෞකාවට ලැබෙන විට ඊයේ (30දා) රාත්‍රිය වනු ඇති බවත්, රෝගියා ගොඩබිමට ගෙන ඒමට අද (01දා) උදෑසන පමණ විය හැකි බවත් වික්‍රමසූරිය මහතා කීය.

විජයබාහු නෞකාවෙන් භාර ගන්නා රෝගියා රැගෙන ඒමට වැඩි කාලයක් ගතවන නිසා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු යානාවක් ඊයේ කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙත යොමු කර නාවික හමුදාවෙන් දැනුම්දුන් වහාම මහ මුහුද මැදට ගොස් රෝගියා රැගෙන අවශ්‍ය රෝහලට ගෙන ඒමට කටයුතු කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවැසීය.

Devon – 05. යාත්‍රාවේ ධීවරයන් 28 වැනිදා රාත්‍රි මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ දෙයක් පානය කිරීම නිසා රෝගී වී ඇති බවත් ඉන් කිහිපදෙනකු මියගොස් ඇති බව දැනගත් බවත් ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවැසීය. සිද්ධිය දැනගත් වහාම නිරීක්ෂණ පද්ධතිය ඔස්සේ එම යාත්‍රාව නිරීක්ෂණය කර ගොඩබිම සිට නාවික සැතපුම් 400ක් පමණ දකුණු මුහුදේ පවතින බවට දැනුවත් වීමෙන් පසු ඒ ආසන්නයේ පැවැති තවත් ධීවර යාත්‍රාවකට අසාධ්‍යව සිටින ධීවරයන් සම්බන්ධයෙන් සොයා බලන ලෙස දැනුම් දුන් බවද හෙතෙම පැවසීය.

මියගොස් සිටින ධීවරයන් රැගත් Devon – 05. යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්වීම නිසා ගොඩබිමට ගෙන ඒමට යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවද ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

පස් දෙනකු මියගිය Devon – 05. බහුදින ධීවර යාත්‍රාවේ තංගල්ල, කුඩාවැල්ල හා අවට පදිංචිකරුවන් වන 42 හැවිරිදි එම්.ජේ. නයනකාන්ත නමැති ස්කීපර්වරයා සමග 32 හැවිරිදි එම්.ටී. සුජිත්, 23 හැවිරිදි පී.ඩී. ජයසූරිය, 43 හැවිරිදි ටී.බී. සුජිත් කුමාර, 34 හැවිරිදි ආර්.බී.ජී. ප්‍රදීප් නාශාන්ත සහ 56 හැවිරිදි ජී.එම්. අජිත් කුමාර යන ධීවරයන් සිට ඇත.

ධීවරයන් මියයෑම පිළිබඳව ඔවුන්ගේ ඥාතීන් දැනගැනීමත් සමග මියගිය අයගේ මෘතදේහ හා අසාධ්‍යව සිටින පිරිස කඩිනමින් ගොඩබිමට රැගෙන එන ලෙස ඉල්ලා ඔරුවක් දමා කොළඹ – කතරගම මාර්ගය හරස්කර විරෝධතාවක නිරතවූහ.

විරෝධතාකරුවන් ඉවත් කිරීම සඳහා තංගල්ල සහ බෙලිඅත්ත පොලිස් ස්ථානවල නිලධාරීන් උත්සාහ කළ අවස්ථාවේ නොසන්සුන්තාවයක් ද ඇති විය. මියගිය සහ අසාධ්‍ය ධීවරයන් කඩිනමින් ගොඩබිමට ගෙන ඒමට කටයුතු කරන බවට පොරොන්දුවීම නිසා විරෝධතා නවතා දැමීමට ඔවුන් කටයුතු කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගේ අවධානය යොමුකර මියගිය ධීවරයන්ගේ පවුල්වල ඥාතීන්ට කිසියම් වන්දි මුදලක් ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් එම ධීවර අමාත්‍යාංශ නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය.

එහෙත් මීට පෙර මුහුදේ පාවී ආ ද්‍රව්‍යයක් පානය කර මියයෑමේ සිද්ධියක් වාර්තා වී නැති නිසා මෙය සුවිශේෂී අවස්ථාවක් ලෙස සලකා කැබිනට් අනුමැතියක් ලබාගෙන වන්දිමුදලක් ගෙවීමට ඇමැතිවරයා අදහස් කර ඇතැයි එම නිලධාරියා කියා සිටියේය.

චමින්ද සිල්වා, මත්තල – දිලිප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment