මාරයාට මිතුරු 64 වන නවාංශකාධිපතියා හඳුනාගන්නේ කෙසේද?

56

මාරකයක දරුණුම ප්‍රතිඵලය වන මරණය සඳහා බලපාන ප්‍රධාන ග්‍රහයන් අතරින් 64 වන නවාංශකාධිපතියා ද එක් ග්‍රහයෙකි. 64 වන නවාංශකාධිපතියා ඍජුව හෝ වක්‍රව කවර ආකාරයකින් හෝ යම් පුද්ගලයකුට බලපෑ හැකි මාරක තත්ත්වයකට හේතුවිය හැක. විධිමත් කේන්ද්‍ර පරීක්ෂාවකදී 64 වන නවාංශකාධිපතියා කවුරුන් ද යන්න සොයාගත යුතුමය.

64 වන නවාංශකාධිපතියා සොයාගැනීම ඉතාම පහසුය. ඒ සඳහා ඉතා සරල කෙටිම ක්‍රමයක් ද ඇත. එහෙත් තර්කයානුකූලව, ශාස්ත්‍රානුකූලව නිවැරදිව 64 වන නවාංශකාධිපතියා සොයාගැනීමට ද අප සමත්විය යුතුය. ඒ සඳහා පළමුව නවාංශකය පැහැදිලිව තේරුම්ගත යුතුය. ලග්නයකට හෙවත් රාශියකට 300 බව අපි දනිමු. ඕනෑම රාශියක් හෙවත් ලග්නයක් 9 න් බෙදූ කල ලැබෙන 30 20.ක ප්‍රමාණය නවාංශකයක් සේ සැලකේ. සෑම ලග්නයකටම නවාංශක 9යකි. එලෙස ගත්කල ලග්න 12ටම මුළු නවාංශක ප්‍රමාණය 108කි.

නවාංශක නම් කිරීමේදී මේෂ රාශියේ පළමු වන නවාංශකය මේෂය ලෙස ගෙන පිළිවෙළින් මේෂ රාශියේ නවාංශක නවය මේෂ, වෘෂභ, මිථුන ආදී ලෙස නම් කරගෙන යනු ලැබේ. ඒ අනුව මේෂ ලග්නයේ 9 වන නොහොත් අවසාන නවාංශකය ධනු නවාංශකය වේ. මෙලෙස රාශි හෙවත් ලග්න උදාවෙන අනුපිළිවෙළ අනුව නවාංශක නම් කිරීම දිගින් දිගටම සිදු කරගෙන යනු ලැබේ. ඒ අනුව මේෂ ලග්නයෙන් පසු උදාවන වෘෂභ ලග්නයේ පළමු වන නවාංශකය මේෂ ලග්නයේ අවසාන හෙවත් 9 වන නවාංශකය වන ධනුවට පසුව එන මකරය වේ. මෙලෙස ගත් කල මිථුන ලග්නයේ පළමු වන නවාංශකය තුලා ද කටක ලග්නයේ පළමු වන නවාංශකය කටක ද වේ. දැන් ඔබට ලග්න අනුපිළිවෙළින් නවාංශක නම් කරගෙන යෑම පිළිබඳ යම් අවබෝධයක් ඇත. එහෙත් මෙම ක්‍රමවේදය තවත් සරල කර මතකයේ ඉතා පහසුවෙන් රඳවාගත හැකි ක්‍රමයක් ද වේ.

ලග්න 12ටම අදාළව ඒ ඒ ලග්නයේ පළමු වන නවාංශකය කවරක්දැයි සොයාගැනීම සඳහා ලග්න, භූතවලට අනුව වර්ගීකරණය තුළින් ඉතාම පහසුවෙන් තම මතකයේ තබාගත හැක. මෙම ක්‍රමවේදය ජ්‍යොතිෂය අධ්‍යයනයට පිවිසෙන නවකයන්ට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. තේජෝ, පඨවි, වායෝ, ආපෝ හා ආකාස ලෙස භූත වර්ග 5කි. ඒවා පංච මහා භූතයන් ලෙස හැඳින්වේ. රවි, චන්ද්‍ර, ගුරු, ශුක්‍ර, බුධ, කුජ හා ශනි යන ප්‍රධාන ග්‍රහයන් සත් දෙනා ඔවුන් සතු ගුණ අනුව මෙම භූතයනට වර්ග කර ඇත. රවි, කුජ ග්‍රහයන් දෙදෙනා උෂ්ණ ගතියෙන් යුතු බැවින් තේජෝ භූතයටත් ශනි පැතිරෙන ගතියෙන් යුතු ග්‍රහයකු බැවින් වායෝ භූතයටත් චන්ද්‍ර, ශුක්‍ර ග්‍රහයන් දෙදෙනා වැගිරෙනසුලු තෙත ගතියෙන් යුතු බැවින් ආපෝ භූතයටත් ගුරු, බුධ ග්‍රහයන් දෙදෙනා තරුණ බවින් යුක්ත නිසා පඨවි භූතයටත් ලෙස වර්ගකර ඇත. ආකාස භූතයට ග්‍රහයන් නොමැත.

ලග්න 12 භූත අනුව වර්ගීකරණය කර ඇත. එහිදී මේෂ, සිංහ, ධනු යන ලග්න තේජෝ භූතයටත් වෘෂභ, කන්‍යා, මකර යන ලග්න පඨවි භූතයටත් මිථුන, තුලා, කුම්භ යන ලග්න වායෝ භූතයටත් කටක, වෘශ්චික, මීන යන ලග්න ආපෝ භූතයටත් ලෙස වර්ග කර ඇත. ඒ අනුව තේජෝ ලග්න තුනේ මේෂය පළමුවන නවාංශකය ලෙසත් පඨවි ලග්න තුනේ මකරය පළමුවන නවාංශකය ලෙසත් වායෝ ලග්න තුනේ තුලාව පළමුවන නවාංශකය ලෙසත් ආපෝ ලග්න තුනේ කටකය පළමුවන නවාංශකය ලෙසත් ගනු ලැබේ. පහත වගුවෙන් එය වඩාත් පැහැදිලි වේ.

මාරයාට මිතුරු 64 වන නවාංශකාධිපතියා හඳුනාගන්නේ කෙසේද?

ඉහත සඳහන් ලෙස ලග්න 12 සටහන් කරගත් පසු එක් එක් භූතයට අනුරූප ලග්න තුනේ නවාංශක ආරම්භය රවුම් කර ඇති ලග්නයේ ආරම්භක මුල් අකුර මගින් මතකයේ රඳවාගත හැක. එය වඩාත් පහසු කිරීමට එම ලග්න ආරම්භක මුල් අකුරු එකතු කර “මේ මතු කවදා” ලෙස කුඩා වැකියක් නිර්මාණය කරගත හැක. මෙම වැකිය මතකයේ ඇතිතාක් කිසිදා ලග්න දොළහේ අහඹු ලෙස හෝ ඕනෑම ලග්නයක ආරම්භක නවාංශකයන් අමතක නොවේ. මෙම ක්‍රමය අතරමැද ලග්නවල ආරම්භක නවාංශකය ක්ෂණිකව ප්‍රකාශ කළ හැකි කෙටි ක්‍රමයකි. මෙම ක්‍රමයට අතිරේකව ලංකා පංචාංග ග්‍රහස්ඵුට ලිතෙහි ලග්න සහ ග්‍රහස්ඵුට අනුව නවාංශක හා නැකැත් පාද සෙවීමේ වගුව භාවිත කර ද අවශ්‍ය ලග්නයකට අදාළව ජන්ම නවාංශකය කී වන නවාංශකය දැයි සොයාගත හැක. එහි ඒ ඒ ලග්නයට අදාළව සියලුම නවාංශක දක්වා ඇත.

64වන නවාංශකය හා එහි අධිපතියා සෙවීමේදී ඕනෑම කේන්ද්‍ර හිමියකු උපත ලද නවාංශකය ඔහු උපත ලද ලග්නයේ කී වන නවාංශකය දැයි බලා එම ලග්නයේ 8 වැන්නට එන රාශියේ ඒ හා සමාන අංකය දරන නවාංශකය ඔහුගේ 64වන නවාංශකය ලෙස ගනු ලැබේ. එලෙස සොයා ගන්නා 64වන නවාංශකයට අයත් රාශිය අධිපති ග්‍රහයා 64වන නවාංශකාධිපති ග්‍රහයා වේ. මෙය තවදුරටත් පැහැදිලි කරගැනීමට උදාහරණයක් සලකා බලමු. යම් ජන්මියකු උපත ලබා ඇත්තේ කන්‍යා ලග්නයේ මීන නවාංශකයෙන් නම් 64වන නවාංශකය හා එහි අධිපතියා සොයමු.

එහිදී පළමුව කන්‍යා ලග්නයට අදාළ තීරය ලිතෙහි ලග්න සහ ග්‍රහස්ඵුට අනුව නවාංශක හා නැකැත් පාද සෙවීමේ වගුව භාවිතයෙන් සොයාගන්න. එහි මීන නවාංශකය තිබෙන ස්ථානයට ගැන ගන්න. එනම් මීනය කන්‍යා ලග්නයේ කී වන නවාංශකය දැයි බලන්න. එලෙස ගත්කල මීනය කන්‍යා ලග්නයේ 3වන නවාංශකය වේ. දැන් කන්‍යා ලග්නයේ 8වන රාශිය සොයාගන්න. එය මේෂ වේ. දැන් මේෂයේ තුන්වන නවාංශකය කුමක් දැයි බලන්න. මේෂ ලග්නය තේජෝ භූතයට අයත්ය. මේෂ, සිංහ, ධනු යන තේජෝ ලග්න ත්‍රිත්වයේ ආරම්භක නවාංශකය මේෂ වේ. ඒ නිසා මේෂ නවාංශකයේ සිට පිළිවෙළින් උදාවන තුන්වන නවාංශකය වන මිථුන නවාංශකය මෙම ජන්මියාගේ 64වන නවාංශකයයි. දැන් මෙම 64වන නවාංශකය සොයාගැනීම ලිතක් නොමැතිව වුවද මතකයෙන් කළ හැකි නේද? 64වන නවාංශකය මිථුනය බැවින් මිථුන නවාංශකයේ අධිපති වන බුධ 64වන නවාංශකාධිපතියායි.

ඉහත සඳහන් ක්‍රමවලට අතිරේකව නිවැරදිව ලග්නය හා නවාංශකය සඳහන් කේන්ද්‍රයක් දුටු සැණින්ම නවාංශක කේන්ද්‍රයේ 4 වැන්නට එන රාශිය අනුසාරයෙන් 64වන නවාංශකයත් එහි අධිපතිගෙන් 64වන නවාංශකාධිපතියාත් ප්‍රකාශ කළ හැක.

64වන නවාංශකාධිපතියා වන ග්‍රහයා ලගන කේන්ද්‍රයේ දුබල වන තරමට අපලකාරී මාරක ස්වභාවය දරුණුය. 64වන නවාංශකාධිපතියා ශනි හෝ චන්ද්‍ර වූවොත් ඉතා අපලකාරීය.තවද 64වන නවාංශකාධිපතියා තැන්පත් රාශිය අධිපති ග්‍රහයාට තිබෙන්නා වූ සතුරු – මිතුරු තත්ත්වය මතද ඇතිවන්නා වූ මාරක අපලකාරී ස්වභාවය අඩු – වැඩි විය හැක. එනමුත් 64 නවාංශකාධිපතියා ශුභ යෝග, ශුභ යෝග තුළින් ලබනා සැප සම්පත්වලට බාධා නොකරයි. එහෙත් ශුභ යෝගයක් පලදෙන කාලපරිච්ඡේදයක වුවද සැප සම්පත් භුක්ති විඳිනා අතරතුර වුවද ශනි හෝ සඳු හෝ දශාවක් ලැබුවහොත් එසේත් නැතිනම් ඒරාෂ්ටකයක් යෙදුණහොත් මාරක අපලකාරී විය හැක. ඇතැම් විට මාරක අපලය තුළින් මරණය ද ගෙන දිය හැක. එනිසා 64වන නවාංශකාධිපතියාගේ දශාවක් පවතී නම් වඩවඩාත් සැලකිලිමත්ව ප්‍රවේශම් විය යුතුය. 64වන නවාංශකාධිපති ග්‍රහයාගෙන් යෙදෙන අපලය වළකනු සඳහා එම ග්‍රහයාට අදාළව ග්‍රහ පූජා, වත් පිළිවෙත් තෙරුවන් කෙරෙහි භක්තිමත්ව සිදු කළ යුතුය. යහ පැවැත්ම මෙන්ම නිතර පිං දහම් හි නිරත වීම ද ඉතාම ප්‍රතිඵල දායකය. වත් පිළිවෙත්, ග්‍රහ පූජා ආදිය තුළින් ඇතිවී තිබෙන්නා වූ මාරක අපලය අඩුකර යම් සහනකාරී තත්ත්වයක් ළඟා කරගත හැක. එනම් 64වන නවාංශකාධිපතියා ගෙන දෙන අනිටු මාරක ඵල වැළැක්වීම හෝ අඩු කිරීම ද ඇත්තේ අප අතේය. එනිසා අවශ්‍ය වන්නේ 64වන නවාංශකාධිපතියා කවුරුන් ද යන්න හඳුනාගෙන එම ග්‍රහයාට බිය නොවී අදාළ වත්පිළිවෙත් ආදිය සිදු කිරීමය.

මාරයාට මිතුරු 64 වන නවාංශකාධිපතියා හඳුනාගන්නේ කෙසේද?

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment