මාර්ග දෙපස ගස් සිටුවීමට ජාතික ප්‍රතිපත්තියක් – ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බංඩාර තෙන්නකෝන්

37

මාර්ග දෙපස ගස් කඩා වැටීම් බහුලව සිදුවන නිසා මාර්ග දෙපස ගස් සිටුවීම සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයකින් පසුව විශේෂඥ කමිටු උපදෙස් ඇතිව ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මහතා ඊයේ (24 දා) පැවසීය.

වත්මන් කාලගුණික තත්ත්වය පිළිබඳ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.

මේ මොහොතේ ආපදාවට ලක්වූ පුද්ගලයන්ට සහන සැලසීම සඳහා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, රාජ්‍යය දෙපාර්තමේන්තු, දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරී, සහන සේවා මධ්‍යස්ථානය නිලධාරීන් හා විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකාය එක්ව ගනු ලැබූ කඩිනම් ක්‍රියාමාර්ග, ඇමැතිවරයාගේ පැසසුමට ලක් විය.

මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා පසුගිය කාලසීමාව තුළ ගස් කඩා වැටීම්වල වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති අතර, ඒ වෙනුවෙන් ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් විශේෂයෙන්ම ‘සුරකිමු‘ වැඩසටහන යටතේ පාසල සහ පාසල් භූමියේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ අවධානය ප්‍රමුඛව ලබාදීමට කටයුතු කරන බව අවධාරණය කළේය.

එමෙන්ම, මාර්ග දෙපස ගස් කඩාවැටීම් සංඛ්‍යාව ඉහළ අගයක තිබෙන බැවින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග අධිකාරි සහ පළාත් පාලන ආයතනවල සහාය ඒ සඳහා අපේක්ෂා කරන බවත් ගස් සිටුවීම සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයකින් අනතුරුව විශේෂ කමිටුවක උපදෙස් මත ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට සහ ඒ අනුව මාර්ගය දෙපස සිටුවීමට සුදුසු ගස් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත් බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.

තවද, අනාරක්ෂිත මෙන්ම අනවසර ඉදිකිරීම් හේතුවෙන් පහත්බිම් වල ඇති වන ජල ගැලීම් තත්වයන් පාලනය කිරීමට ද අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා සඳහන් කලේය.

මේ අතර,පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. එම නිසා ඇති විය හැකි ආපදා තත්වයන් සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග සහ එහිදී අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස ඇමැතිවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය. තවද එවැනි හදිසි අවස්ථාවන් පිළිබඳ අවධානයෙන් පසු වන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් උදය හේරත්, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අතිරේක ලේකම් ගමගේ ධර්මතිලක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment