පසුගිය කාලේ ලංකාවේ හුඟාක් දෙනෙක් රට යන්න පටන් ගත්තා. ඒ නිසා ඒ දිනවල මාධ්‍ය මගින් ඊට අදාළ තොරතුරු නිතර නිතර ප්‍රචාරය කළා. විදේශ ගමන් බලපත්‍රයක් (pass port) ගන්න දිගු පෝලිමේ සිටින, විදේශ රැකියා ඒජන්සි ළඟ සිටින කාන්තාවන්, පිරිමි සහිත දිගු පෝලිම් නිතර සමාජ මාධ්‍ය මගිනුත් හුවමාරු වුණා. රටවිරුවෝ රට හැරයනවා යැයි යන සිරස්තලද ජනප්‍රියා වූවා.

මධුරි ප්‍රියංවදාත් එසේ මැදපෙරදිග ගිය රටවිරු කාන්තාවක්. පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඇය එක් දරු මවකි. සැමියාත් රටවිරුවෙක්. ඔහු සේවය කරන්නේ කටාර්වල. ඇයගේ මවත් රටවිරු කාන්තාවක්. මීට වසර කිහිපයකට පෙර ඇය මිය ගියත් වසර විස්සක් පමණ මැදපෙරදිග සේවය කළ තැනැත්තියකි. මධුරිගේ වැඩිමල් සොහොයුරිය ද රටවිරු කාන්තාවකි. දැනට ඇයත් සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවය කරයි.

ඇත්තටම අපි ඔවුනට රටවිරුවන් කිව්වට ඔවුන් මැදපෙරදිග රටවල අපාදුක් විඳින බව මධුරි පැවසුවාය.

අපි මොන රටවිරුවෝද..? සෞදියේ කෆීර්ලාගේ (හාම්පුතා) වහල්ලු. අපිව ලංකාවෙන් රට යවන රැකියා ඒජන්සිකරුවන් කෆීර්ලාට අපව විකුණනවා. මම රට ගියේ පුංචි බොරැල්ලේ තියෙන විදේශ රැකියා ආයතනයකින්. මම ගෘහ සේවිකාවක් ලෙස යෑම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලැබුවා.

මගේ පඩිය රියාල් 1,125යි. (රුපියල් ලක්ෂයකට වැඩියි) මාව රැකියාවට යවපු ඒජන්සියට සෞදියේ රැකියා ඒජන්සිය රුපියල් ලක්ෂ 23ක් දීලා තියෙනවා. ඒ කියන්නේ මාව කදාමා (ගෘහ සේවිකාවක්) කෙනෙක් විදිහට රුපියල් ලක්ෂ 23කට ලංකාවේ රැකියා ඒජන්සිය සෞදියේ රැකියා ඒජන්සියට විකුණලා. ඒ හින්දා එයාලා මාව රට යවන්න සල්ලි ගත්තේ නැහැ. මට තිබුණේ පාස්පෝට් එක හදාගන්න විතරයි. ගුවන් ටිකට් එක නොමිලේ. හැබැයි එයට ගුවන් යානයේදී දෙන කෑම ඇතුළත් කරලා තිබුණේ නැහැ. එනිසා අපිට සෞදියට යනකම් ගුවන්යානයෙන් අනෙක් මගීන්ට දෙන ආහාර වේල ලැබුණේ නැහැ. මගේ ටිකට් එකේ ගාණ රුපියල් එක්ලක්ෂ දසදහසයි.

අප රටවිරුවන් ලෙස උදම් අනන අයගේ සැබෑ ජීවිතය කෙතරම් සුන්දර දැයි කියා මධුරිගේ අනාවරණයෙන් වටහාගත හැකිය. මෙය ඇයට පමණක් නොව පොදුවේ සියලු ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවනට සලකන අයුරු බව ඇය පැවසුවාය.

මාත් එක්ක ගුවන් යානයේ දහයක් විතර ලංකාවේ කාන්තාවෝ ගියා. ගොඩාක් දෙනෙක් මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කතරගම, මොනරාගල වැනි ඈත ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22, 23, 30, 35 යන වියේ අයයි. ඉන් වැඩි දෙනෙක් දෙමළ අය. අපිව සෞදියේ පිහිටි එරට රැකියා ඒජන්සියට අරගෙන ගියාට පස්සෙ අපේ කෆීර් (හාම් පුතා) ඇවිත් අරගෙන යනවා. එහිදී ඔහු රැකියා ඒජන්සිය සමග වසර දෙකක ගිවිසුමකට අත්සන් කරනවා. එසේ ගිවිසුම් අත්සන්කරන විට අපට හැඳුනුම්පතක් හදා දෙනවා.

ඔය හැඳුනුම්පත හැදුවාට පස්සෙ ආයේ ලංකාවට එන්න පුළුවන් වන්නේ ඒ වසර දෙක අවසන් වූ පසුයි. එතකන් ඒ රටේ කදාමා
(ගෘහ සේවිකාවක්) ලෙස සේවය කළ යුතුයි.

මාව අරන් ගිය කෆීර්ට භාර්යාවන් තුන්දෙනෙක් ඉන්නවා. එනිසා මට ගෙවල් තුනක වැඩ කරන්න සිද්ධ වුණා. ළමයි හයදෙනෙක් බලාගන්න, ඒ ගෙවල් තුන අතු ගාන්න, රෙදි හෝදන්න සිද්ධ වුණා. උදේ පාන්දර 6.30ට වැඩ පටන් ගත්විට අවසන් වන්නේ පසුදින පාන්දර 1.30ට විතර. ඊට පස්සේ මගේ බෝඩිමට ගොස් ඇඟපත හෝදගෙන නිදාගන්නවා.

මම ඒ ගෙදර වැඩ කළේ මාස තුනයි. මට වැඩ කරන්න බැහැ කී විට කෆීර් මාව සෞදියේ රැකියා ඒජන්සියට අරගෙන ඇවිත් වෙන කෙනෙක් ඉල්ලුවා.

එහෙම වැඩ කරන්න බැහැ කියා රැකියා ඒජන්සියට ඇවිත් ඉන්න ලංකාවේ කාන්තාවෝ සිය ගණනක් ඉන්නවා. ඔවුන්ට ඉන්න රැකියා ඒජන්සිය වෙනම නේවාසිකාගාරයක් දීලා තියෙනවා. තුන්වේලටම බතුයි පරිප්පුයි විතරයි.

අපි සෞදි රැකියා ඒජන්සියට නැවත ආවිට එහි නියෝජිතයෝ ලංකාවේ අපේ රැකියා ඒජන්සියට දැනුම් දෙනවා. එයාලා අපිට කුණුහරුපෙන් බැනලා කියනවා පලයං ආයෙත් වැඩට කියලා. අපි බැහැ කිව්වහම සෞදි රැකියා ඒජන්සියේ ඉන්න අයට කියනවා අපිට ගහන්න කියලා. ඒ සඳහා ඊජිප්තු ජාතික පිරිමි කිහිපදෙනෙක් ඉන්නවා. එයාලා අපි ආයේ රැකියාවට යන්න බැහැ කියූ විට අතින් පයින් ගහනවා. සමහරු ගුටිකාගෙන ඉන්නවා. තවත් අය බයට ආයෙත් තමුන් වැඩකළ ගෙදරට යනවා.

මධුරිගේ හෙළිදරව්ව අනුව අපේ රටේ මහ බැංකුව විදේශ මුදල් සංචිත තරකර ගන්නේ මෙලෙස අපා දුක් විඳින කාන්තාවන් එවන ඩොලර්, රියාල්, ඩිනාර්වලින් නොවේදැයි කියා වැටහුණි.

සෑම ගෘහ සේවිකාවකටම මෙලෙස දුක් ගැහැට විඳින්න සිදු නොවේ. ඉතා සුළු පිරිසකට හොඳ හාම්පුතුන් හමුවේ. එය තීරණය වන්නේ අදාළ නිවස අනුවය. ඇතැම් හාම්පුතුන් සහ ඔවුනගේ බිරින්දෑවරුන් අප රටේ ගෘහ සේවිකාවන්ට හොඳින් සලකනු ලබති. එවැනි අය හමුවූ විට ඔවුන් සැබෑ රටවිරුවන් වනු ඇත.

ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, උගන්ඩාව, ඉතියෝපියාව වැනි රටවලින්ද සෞදි අරාබියට ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවෝ පැමිණෙති. ඉන්දියාවෙන් මැදපෙරදිගට ගෘහසේවිකාවන් යැවීම එරට රජය අත්හිටුවා ඇත. එනිසා දකුණු ආසියාවෙන් වැඩිපුරම මැදපෙරදිග ගෘහ සේවයට ගොස් ඇත්තේ අප රටින් සහ බංග්ලාදේශයෙනි.

මෙහිදී සෞදි අරාබි හාම්පුතුන් බංග්ලාදේශ කාන්තාවන්ට වැඩි කැමැත්තක් ඇති බව මධුරි සඳහන් කළාය. එයාලා හරි ලස්සනයි. පුංචියි. වයස පේන්නේ නැහැ. ඒ හින්දා ගොඩාක් කෆීර්ලා අපට වඩා බංගලි ගෑනුන් එයාලගේ කදාමාලා විදිහට ගන්නවා.

ගෙවල්වල වැඩ කරන්න බැරි නම් ඇයි ගෘහ සේවිකාවන් ලෙස යන්නේ… මම මධුරිගෙන් විමසුවෙමි.

ඇත්තටම අපි ගෙවල් කිව්වහම හිතන්නේ අපේ ගෙවල් වගේ කියලා. සෞදියේ සමහර හාම්පුතාලාගේ ගෙවල් අක්කරයක් විතර විශාලයි. අපේ ගෙයක් එයාලගෙ ගෙයක කාමරයක් විතර ඇති. ඒ වගේ කාමර දහය, දෙළහ තියෙන ගෙයක තනි කෙනෙක් වැඩ කරන්නෙ කොහොමද? දැන් හාම්පුතුන් එක් කදාමා කෙනෙක් අරගෙන දෙතුන් දෙනකුගේ වැඩ කරවනවා. ඉස්සර අපේ අම්මලා රට යන කාලේ එක ගෙයක ගෘහසේවිකාවෝ දෙතුන් දෙනෙක් හිටියා කියලා කිව්වා. දැන් ඉන්න අය බලන්නේ එක් අයෙක් අරගෙන අර සියලු වැඩ කරවා ගන්න.

හාම්පුතාලාගේ භාර්යාවෝ කියන්නෙ උඹලා අපේ වැඩකාරයො. අපි උඹලට සල්ලි දීලා අරගෙන තියෙන්නෙ. ඒ හින්දා වැඩ කරපන් කියලා. සෞදි කාන්තාවෝ හරි කම්මැලියි. එයාලා කනවා නිදාගන්නවා විතරයි කරන්නෙ. දත් මදින්නේ නැහැ. නාන්නෙ ඇඟපත හෝදන්නෙ සතියකට විතර සැරයක්. සුවඳ විලවුන් නැත්නම් ගඳ ගහනවා. හැබැයි දවස ගානේ ඇඳුම් හෝදලා අඳිනවා.

ලස්සනට ඉන්න කැමැතියි. ඒ සඳහා රූපලාවණ්‍ය ශිල්පිනියන් ගෙදරට ගෙන්වාගෙන රූපලාවණ්‍ය කටයුතු කරගන්නවා. නිතරම එයාලගේ මුළු සිරුරම වැක්ස් කරගන්නවා. මේක්අප් කරගන්නවා. ගෙදර ඇතුළේ ඉන්නෙත් තොල් ආලේප කරගෙන.

ගේ ඇතුළේදී එයාලා කැමති ඇඳුම් අඳිනවා. එළියට යනවිට මුළු සිරුරම වැහෙන්න ඇඳගෙන යන්නෙ.

මධුරි තම ගෘහසේවිකා අත්දැකීමක් එලෙස හෙළි කළාය.

ඇත්තටම ගොඩාක් ප්‍රශ්න ඇති වන්නේ අපට මේ ගෙවල් දොරවල් හුරු නැති නිසා සහ දෙතුන් දෙනෙක් කළ යුතු වැඩ තනිව කළ යුතු නිසා. සමහර කාන්තාවෝ ඉන්නවා එහෙම වෙහෙස වෙලා වැඩකළ හැකි අය. නමුත් වැඩි පිරිසකට එහෙම බැහැ. හාම්පුතාලා අපිව වසර දෙකක ගිවිසුමකට ගන්නා විට ඒජන්සියට සම්පූර්ණ මුදල ගෙවා තිබෙන නිසා එයාලා අපි අතරමග දමලා යනවාට කැමැති නැහැ. එයාලා කියන්නේ අපි උඹලාට සල්ලි ගෙවලා තියෙන්නෙ කියලා. මධුරි අවසන් ලෙස පැවසුවාය.

මෙම තොරතුරු අනුව අපට පැහැදිලි වන්නේ ආර්ථික දුෂ්කරතා නිසා මැදපෙරදිග ගෘහසේවිකාවන් ලෙස යන බොහෝ කාන්තාවන් දුක්විඳින්නේ නිසි අවබෝධයකින් යුතුව නොයෑම නිසා බවය.

නිවසක සේවය කිරීම ලෙස සිතන්නේ අප රටේ ඇති නිවසක හා සමානව සේවය කිරීම යැයි කියාය. නමුත් මැදපෙරදිග රටවල ගෘහ සේවයට ගන්නා බොහෝ හාම්පුතුන් සිටින්නේ විශාල මන්දිරවලය. අතිනවීන ගෘහ උපකරණ භාවිතා කරති. එලෙස භාවිතා කරන ඇතැම් රෙදි සෝදන යන්ත්‍ර, බ්ලෙන්ඩර්, ශීතකරණ කිසිදිනෙක අප වැනි රටවලට ගෙන්වන්නේ නැත. ඒවා මිල අධිකය. අප රටේ සාමාන්‍ය නිවසක ඇති ශීතකරණය මෙන් දෙතුන් ගුණයක් විශාල ශීතකරණ එහි ඇත. එනිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයද මෙලෙස රටවිරුවන් කියා මැදපෙරදිග රටවලට ගෘහ සේවිකාවන් යවනවිට නිසි අවබෝධය සහ පුහුණුව ලබාදී යැවිය යුතුය.

එසේ නොවුණ හොත් සිදුවන්නේ තම දූ දරුවන්ගේ අනාගතය සරිකරලන්නට සිතා ගෘහ සේවිකාවක් ලෙස විදේශගතවී දැනට තමා විඳින දුෂ්කර දිවිය මෙන් දෙතුන් ගුණයක් සහිත දුෂ්කර දිවියක් ගෙවීමටය.

අපට ඇති ආර්ථික ගැටලු මෙන්ම මැදපෙරදිග රටවල හාම්පුතුන්ටද ආර්ථික ගැටලු පවතී. එනිසා ඔවුන්ද තම ජීවිත ගත කිරීමේදී වියපැහැදම් සීමා කරනු ලබති. වෙනදාමෙන් ගෘහසේවිකාවන් දෙතුන් දෙනෙකුගෙන් ගත් සේවය දැන් තනි පුද්ගලයකුගෙන් ගැනීමට උත්සාහ කරති.

අප රටේ විදේශ රැකියා ඒජන්සි අපේ ගෘහසේවිකාවකට වැටුප ලෙස මාසයකට රුපියල් ලක්ෂයක් පමණ ලබාදුන්නාට එම කාන්තාවන් වෙනුවෙන් සෞදි හාම්පුතුන් ඊට වඩා තුන් හතර ගුණයක මුදලක් රැකියා ඒජන්සිකරුවනට ගෙවා ඇත. එනිසා මැදපෙරදිග ගොස් අපා දුක්විඳින්නේ අපේම රටේ මිනිසුන් සිදුකරන වංචාවන් නිසා බව අප වටහාගත යුතුය.

හාම්පුතුන්ගෙන් අධික මුදලක් ලබාගෙන ඉන් සොච්චමක් වැටුප ලෙස ලබාදී එක් කාන්තාවකට තනිව කළ නොහැකි රැකියාවක් ලබාදී මැදපෙරදිග අනාථ කරන්නේ අප සමගම සිටින අය බව සිහිපත් කරගත යුතුය.

රටවිරුවන් කියා නැතිබැරි කමින් ප්‍රයෝජනයට ගන්නා රැකියා ඒජන්සිකරුවන්ටත් ඔන්න රට එපා වෙලා ජනතාව රටහැර යනවා කියා පවසන දේශපාලඥයන්ටත් අවසාන වශයෙන් කිවයුත්තේ අපගේ වංචාවන් හංගාගෙන අන්අයට චෝදනා කිරීම දැන්වත් අවසන් කරන ලෙසය.

උපන් බිමේ අගය වැටහෙන්නේ තමුන් ගෙවන ජීවිතයේ තරම වැටහෙන්නේ වෙනත් රටකට ගිය පසුය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment